Friday, November 15, 2013

නිකං ඉන්න බැරුවට

 අපේ කට්ටිය නිකන් ඉන්න බැරුවට එක එක ජාතියේ වැඩ කරනවනේ. මට මේ ගැන ලියන්න හිතුනේ අර මධුරංග දාල තිබුණ බූට් වැදිච්ච කෙනෙකුට කරන්න සුදුසු වැඩ ටිකයි ඒකට ආපු කමෙන්ට් ටිකයි දැක්කට පස්සේ. සහන් නම් කිව්වා ඔන්න කඳු නගිනවා වගේ ඒවා හරියන්නේ නෑ මොකද උඩට නැග්ගට පස්සේ අහවල් කෙනා මතක් වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම මුකුත් මතක් නොවෙන දේවල් තමයි කරන්න ඕන. එහෙම ක්‍රියාකාරකම් කීපයක් ගැන තමයි මම ලියන්න හදන්නේ. මේවා කරද්දිනම් මතක් වෙන්නේ දෙයියෝ බුදුන් විතරයි වැඩිම උනොත්.

මුලින්ම මම කරලා තියන එව්වගෙන් පටන් අරගෙන කරලා නැති ඒවාට එන්නම්. හඳ අල්ලපු රටේ ඔහායෝ ප්‍රාන්තයේ තියනවා "සෙඩාර් පොයින්ට්" කියලා තීම් පාර්ක් එකක්. ඇමරිකාවේ හොඳම තීම් පාර්ක් එක හැටියට සැලකෙන්නේ මේක තමයි මගෙ හිතේ. ඉතින් මොනවද මේකේ තියෙන්නේ? මෙන්න මෙව්වා තමයි.



ඒක පිරිලා තියෙන්නේ මේ විදියේ රෝල(ර්) කෝස්ටර් වලින්. ලැබෙන ත්‍රිල් එක (සිංහල වචනයක් මතක් වෙන්නේ නෑ. "ගතිය" කිව්වොත් හරිද මන්දා) අනුව මේ කෝස්ටර් ලෙවල්ස් 5 කට බෙදෙනවා. 4 හෝ 5 වෙනි ලෙවල් වල ඒවගේ යනකොට තමයි අර මම කලින් කිව්වා වගේ දෙයියෝ බුදුන් සිහි වෙන්නේ.

පලවෙනි වතාවට මෙහෙම පාර්ක් එකකට යන කෙනෙක්ට දෙන්න තියන හොඳම උපදේසේ තමයි අඩු ලෙවල් එකකින් පටන් ගන්නේ නැතුව කෙලින්ම 5 න් පටන් ගන්න කියන එක. මුලින් පොඩි ඒවගේ ගියොත් නිකන් බොරු බයක් ඇති වෙනවා ලොකු ඒවයේ යන්න. අපිත් මුලින්ම පටන් ගත්තේ ලෙවල් 5 ට අයිති වෙන ඔය උඩ රූපයේ දාලා තියන එකෙන්. උඩට පහලට හරහට දිගට හැම අතටම කරකැවිලා ඕකෙන් එලියට එද්දී අපි ආවේ නිකන් බීපු මිනිස්සු වගේ තමයි. 

ඊට පස්සේ තමයි මෙන්න මේක ඈතින් බැබලි බැබලි තියනවා දැක්කේ. 

Millennium Force - වේගය 93 kmph



පේනවා නේද ආනතියේ සැර? ඒක අංශක 80 ක් ලු. මටනම් ඕකේ යන්න හිත දුන්නෙම නෑ. ඒත් අපිත් එක්ක ගියපු හොඳටම කෝස්ටර් පිස්සුව තියන යාලුවෙක් අපිවත් ඇදගෙන ගියා කියමුකෝ. අපිව පටව ගත්තු රතු පාට පුංචි cart එක හෙමිහිට හෙමිහිට උඩට ඇදෙද්දී අර යාලුවා අහු වෙන මානෙක හිටියනම් ගුටි කනවා ඇත්තමයි :D. අපේ සයුරු නම් ඒ වෙනකොටත් ඇස් දෙක වහගෙන ඉවරයි. ඉතින් ඔහොම හෙමිහිට හෙමිහිට ගිහින් අන්තිමේ cart එක මුදුනට එනවා. ඔය රූපයේ තියන එක මුදුනට ලඟා වෙමින් තියෙන්නේ. එතන ඉඳලා පහලට වැටෙන්න පටන් ගන්නකොට තමයි මීක් නැතුව හිටපු කට්ටිය ලෝකේ හෙල්ලෙන්න කෑ ගහන්න පටන් ගන්නේ. සමහරු කෑ ගහන්නේ සතුටට. තවත් සමහරු බයට. මටනම් කෑ ගැහුනේවත් නෑ. හික්ස් :) ඇයි දෙවියනේ ආමාෂේ උගුර ගාවට එද්දී කෑ ගහන්න මතක් වෙන්නේ කාටද?


එතන තිබුන ඒවයෙන් තවත් හිතට අල්ලපු එකක් තමයි මේ.



අපිව පුටු වල තියලා කණුව දිගේ උඩට ගෙනිහින් ගුරුත්වය යටතේ අත අරිනවා. ජිවිතේ මුල්ම වතාවට weightless කියන හැඟීම දැනුනේ එතැනදී කිව්වොත් හරි.

ඔන්න ඔහොම එක එක ජාතියේ ගොඩක් දේවල් එතන තිබුනත් ඔක්කොම ලියන්න ගියොත් මෙතන ඉඩ මදි වගේම කට්ටියට එපාත් වෙයි. එහෙනම් කොස්ටර්ස් ගැන මගේ කෙරුවාවල් මෙතනින් අවසානයි. ඊට පස්සෙත් තීම් පාර්ක් කීපෙකට ගියත් ඒ එකක්වත් මේ වගේ හිතට ඇල්ලුවේ නැහැ.

දැන් කියන්න යන්නේ මම තවමත් නොකරපු දේවල් ගැන.

එක්කෝ කියනවට වඩා ලේසියි වීඩියෝ එකක් දාන එක. මොකෝ කියන්න මම කරලා තියන එකක්යැයි...



Sky Diving 





බන්ජි ජම්පින් 





පැරා ග්ලයිඩින් 





මේ ක්‍රියාකාරකම් හැම එකක්ම "ඩොර්පොමින්" වහනය කරවන දේවල්. මතකනේ ඩොර්පොමින්? ඔබ සතුටින්ද? ලිපියෙදි ඒ ගැන කිව්වා. 

ඉතින් ඔය සපත්තු කාපු කට්ටියටත් මේ වගේ මොනවහරි කරලා නාඩා ඉන්න බැරි වෙයිද?


Related Posts Plugin for WordPress, Blogger...