Saturday, October 27, 2012

උරුමය සොයා ගිය මානවම්ම - රාජාවලිය XXIII




අද අපිට පටන් ගන්න තියෙන්නේ දෙවන දාඨෝපතිස්ස රජතුමාගේ ලඟින්. මතකයි නේ...මෙයා තමයි ද්‍රවිඩයින් ගේ සහයෙන් දප්පුල රජතුමා පරදවලා රාජ්‍ය අරගත්තේ

මේ දෙවන දාඨෝපතිස්ස රජතුමා මහා විහාර සීමාවේම තවත් විහාරයක් කරවලා ඒක අහයගිරිය ට පූජා කරපු නිසා මහාවිහාරයේ භික්ෂුන් රජතුමා එක්ක විරසක වෙලා  රජතුමාගෙන් දානය බාර ගන්න එක නතර කළා ලු. ආදි කාලයේ මේ නීතිය පැනෙව්වම (පන්තානිකුජ්ජන කම්ම) පිඬු සිඟා විදින භික්ෂුවක් උනත් ඔහුගේ නිවස ළඟ නතර නොවී යනවා මිසක් ඔහුගෙන් දානයක් ගන්න හිතන්නෙවත් නැහැලු. ඒක ටිකක් අපහාසාත්මක දඬුවමක් වෙන්න ඕන. මේ වැඩෙන් උනේ රජතුමා මහාවිහාරයත් එක්ක තව තවත් හරහටම හිටපු එක.

ඉතින් මේ රජතුමා ක්‍රි. ව. 673 දී අභාවප්‍රාප්ත උනාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "හතරවන අග්බෝ" (ක්‍රි. ව. 673 - 689).  මේ රජතුමා ඉතාමත් කාරුණික දැහැමි රජ කෙනෙක්. නිතරම රට වැසියාගේ ඕන එපාකම් ගැන හොයලා බලලා ශාසනයටත් ලොකු අනුග්‍රහයක් දක්වලා තියනවා. දාඨෝපතිස්ස රජතුමාගෙන් උන වැරදි වෙනුවෙන් මහාවිහාරයෙන් සමාවත් ඉල්ලුවලු මෙතුමා. එහෙම කරලා හැම නිකායකම සංඝයා වහන්සේලාට අපක්ෂපාතීව සැළකුවා ලු.

මේ කාලේදී රජතුමාගේ ද්‍රවිඩ සෙන්පතියන් ඉඳල තියනවා සැළකිය යුතු බලතල ඇතුව. රජතුමාගේ හොඳ කම නිසාම ඔවුන් ඇතුළු රජ බිසව පවා ජනතා සේවයට කැප උනා ලු. මෙහෙම හොඳින් කාලේ ගෙවීගෙන යද්දී රජතුමා පොළොන්නරුව දිහාට පදිංචිය වෙනස් කළා ලු (මේක රාජධානියේ මාරුවීමක් කියලා වරදවා වටහා ගන්න එපා). ඒත් පොළොන්නරුවේදී අසනීප වෙන රජතුමා එහිදීම අවසන් හුස්ම හෙළුවා ලු. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "රජෙක්" වූ හතරවන අග්බෝ රජතුමාගේ මරණය නිසා රට වැසියා ඉතාමත් කම්පාවට පත් වෙනවා. ඔහුගේ චිතකයෙන් අළු මිටක් ගන්න මිනිස්සු පොර කෑවා කියලත් කියනවා. 

ඉතින් ඊට පස්සේ රජ කමට පත් වෙලා තියෙන්නේ යුව රජ වෙලා ඉඳපු "දාසිව" (ක්‍රි. ව. 690) කියන කුමාරයා. හැබැයි අර බලවත් දෙමළ සෙන්පතියන්ගෙන් කෙනෙක් වන "පොත්ථකුට්ඨ" දාසිව කුමාරයා රජකමෙන් නෙරපලා පාලනය තමන්ගේ අතට ගන්නවා. ඒත් ඉතින් මේ දෙමළ සෙන්පතියා යටතේ ඉන්න රට වැසියා කැමති වෙන්නේ නැහැ. මේ නිසා ඔහු කරන්නේ "දත්ත" නම් රජකමේ උරුමයක් තියන කුමාරයෙක් හොයාගෙන ඔහු රූකඩ රජෙක් හැටියට තබාගෙන පාලනය ගෙනයාම. දත්ත කුමාරයා වැඩිකල් නොගිහින්ම මිය යන නිසා පොත්ථකුට්ඨ තවත් රූකඩ රජෙක් හොයා ගන්නවා. ඒ තමයි "හත්තෝදා" (ක්‍රි. ව. 691).  

ඔය අතරේ තමයි දෙවන කාශ්‍යප රජතුමාගේ පුතා වෙච්ච්ච "මානවම්ම" කුමාරයා කරලියට එන්නේ. මතකයි නේද පහුගිය ලිපියෙදි කතා කරා, කාශ්‍යප රජතුමා මියයද්දී රජකම දෙන්න තරම් සුදුසු වයසක ඔහුගේ දරුවන් නොසිටි නිසා බෑනා කෙනෙක්ට රජකම දුන්නා කියලා. ඉතින් මේ ලාබාළ වයසේ ඉඳපු දරුවෙක් තමයි මානවම්ම කුමාරයා. ඔහු ඉන්දියාවේ පල්ලව දේශයට පලා ගොස් සැඟවිලායි හිටියේ. පල්ලව රජ වූ "නරසිංහ වර්මන්" සමීපයෙන්ම ඇසුරු කරමින් ඉඳලා ලක්දිව රාජ්‍ය අල්ලගන්න ඔහුගෙන් ආධාරත් ලබා ගන්නවා. මානවම්ම ඒ සඳහා පළමු උත්සාහය දරන්නේ දෙවන දාඨෝපතිස්ස රජතුමාගේ කාලයේදී. ඒත් ඒක අසාර්ථක වෙන නිසා ඔහු නැවතත් පල්ලව දේශයට පලා යනවා. ඉන් අවු. 20 කට පමණ පස්සේ දෙවන නරසිංහ වර්මන් රජතුමාගෙන් නැවතත් ආධාර අරගෙන මානවම්ම කුමාරයා නැවත ලංකාවට එනවා. මේ තමයි අර පොත්ථකුට්ඨ සහ හත්තෝදාඨ එකතු වෙලා රජකම් කරපු කාලය. ඉතින් මානවම්ම කුමාරයා මොවුන් පරදවලා ලක්දිව රජකම ලබා ගන්නවා. 

මේ විදියට තමන්ගේ උරුමය ලබා ගතිපු මානවම්ම රජතුමා (ක්‍රි. ව. 691 - 726) අවුරුදු 35 ක් ම ලක්දිව රජ කරමින් රට සමෘදිමත් කරනවා. එවකට බලවත්ව සිටි ද්‍රවිඩයින් ඒ නිල වලින් පහ කරලා ගැටළුවක්ව තිබූ ද්‍රවිඩ බලය මැඩලන්න කටයුතු කරනවා. ඒ වගේම පල්ලව කලා සම්ප්‍රදායයන් ආදිය ලංකාවේ ස්ථාපිත උනෙත් මේ කාලයෙමලු. රජතුමාට පල්ලව දේශයත් එක්ක තිබුණු සම්බන්ධතා නිසා එහෙම වෙන්න ඇති. මොහුගෙන් නව ලම්භකර්ණ රාජ පරපුරක් ඇරඹුන බවත් සඳහන් වෙනවා. 

මානවම්ම රජතුමාගේ මරණයෙන් පස්සේ රජ වෙන්නේ ඔහුගේ පුත් "අග්බෝ V" රජතුමා (ක්‍රි. ව. 726 - 732). මේ රජතුමාත් ධාර්මිකව 6 වසරක් රට පාලනය කරලා තියනවා. ඉන් පස්සේ රජ උනේ ඔහුගේ සොහොයුරු "කාශ්‍යප III" රජතුමා (ක්‍රි. ව. 732 - 738). ඉතාමත් කරුණාවන්ත රජ කෙනෙක් වූ ඔහු සතුන් මැරීම තහනම් කරන්න නීති පැනෙව්වා ලු. 

කාශ්‍යප රජතුමාගෙන් පස්සේ රජ වෙලා තියෙන්නේ ඔවුන්ගේ බාලම සොහොයුරු "මිහිඳු I" රජතුමා (ක්‍රි. ව. 738 - 741). මිහිඳු රජතුමාගේ කුළුපග මිතුරෙක් වන "නීල" ගේ මරණය නිසා කලකිරීමෙන් සිටි නිසා ඔහු  අභිෂේක මංගල්‍යයක්වත් පවත්වන්න අකමැති උනාලු. රජ පදවිය නොලබාම පාලන කටයුතු අරගෙන ගිය මිහිඳු රජතුමා අවුරුදු තුනකින් මිය පරලොව යනවා. 

මී ළඟ ලිපියෙන් අපි පුදුමාකාර සොහොයුරෝ දෙන්නෙක් ගැන කතා කරමු. 

Monday, October 22, 2012

සරත් සිරිය

හැමෝම අහල ඇතිනේ සෘතු හතර ගැන...

වසන්ත - Spring
ගිම්හාන - Summer
සරත් - Autumn / Fall
සිසිර - Winter

අපිට මේ දවස්වල බැලූ බැලූ අත පේන්නේ රතු, කහ සහ රන්වන් පාට කොළ පිරිච්ච ගස්. ඒ අතරින් පතර සදා හරිත ගසුත් නැතුවම නෙමෙයි. උත්තරාර්ධ ගෝලේට සොඳුරු සරත් සමය ලබලා දැන් මාස දෙකක් විතර ඇති. දැන්නම් කොළ හැලෙන්නත් පටන් අරගෙන.

මේ තියෙන්නේ අපේ ගේ ඉස්සරහ තියන ගහ...
ගහ කිව්වට ඉතින් ගහෙන් බාගයයි.




මේ තියෙන්නේ පහුගිය දවස්වල ගතිපු තවත් පින්තූර ටිකක්. 







දැන් ඉතින් පින්තූර ටිකක් විතරක් පෙන්නලා යන එක හරි නැහැ නේ. ඒ නිසා තව පොඩි දෙයක් ගැනත් කතා කරමු නේද. ඔයාලා දන්නවද සමකයට ඈතින් පිහිටි රටවලට මෙහෙම සෘතු භේදයක් ඇති වෙන්නත් ලංකාව වගේ රටවලට එහෙම නොවෙන්නත් හේතුව මොකක්ද කියලා? ගොඩක් අය දන්නවා ඇති.නොදන්න අයටත් දැනගන්න අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. 

ඕකට බලපාන ප්‍රධානම සාධකය තමයි අපේ පෘථිවියේ තියනවයි කියන අංශක විසිතුන හමාරේ ඇලය. අනික, පෘතුවියේ පරිභ්‍රමණය. 



මෙන්න මේ විදියට අංශක 23 යි 1/2 ක් ඇල වෙච්ච ගමන් තමයි පෘතුවිය බ්‍රමණයේත් පරිභ්‍රමණයේත් යෙදෙන්නේ. මේ වෙලාවේ අපි බ්‍රමණය ගැන හිතන්න යන්නේ නෑ. මොකද බ්‍රමණය හින්දා ඇති වෙන්නේ දවල් රෑ වෙනස නේ. සෘතු භේදයට බලපාන්නේ පරිභ්‍රමණය. 

හරි එහෙනම් අපි බලමු අර උඩින් කියපු සෘතු හතර ඇති වෙන හැටි. 

මුලින්ම මේ රූපයේ June 22 කියලා තියන අවස්ථාව ගනිමු...


ඒ අවස්ථාවේදී උත්තරාර්ධ ගෝලය සූර්යයා දිහාවට බර වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩි සෘජු හිරු කිරණ ප්‍රමාණයක් ඒ ප්‍රදේශ වලට ලැබෙනවා (ඒකීය වර්ගඵලයක් මත වැටෙන කිරණ ප්‍රමාණය වැඩියි). ඒ නිසා උත්තරාර්ධ ගෝලය එකසිය ගානට රත් වෙනවා. ඉතින් ඒ තමයි ගිම්හාන කාලය. ඒ වගේමයි රූපයේ පේනවා ඇති, ඒ අවස්ථාවේදී ඉර එලිය වැටෙන වපසරිය උත්තර ධ්‍රැවයෙනුත් එහාට පැනලා. පෘතුවිය බ්‍රමණය උනාට උත්තර ද්‍රවයට හැම තිස්සෙම එළියයි. ඒ කියන්නේ එහාට රෑ වෙන්නේ නැහැ දිගටම දවාල :) ඒ දවස්වලට කියන්නේ Polar days කියලා. ඒ වගේම මේ වෙලාවේදී දක්ෂිණ ධ්‍රැවයට ඉර පායන්නෙම නැහැ. ඒ දවස්වලට කියන්නේ Polar nights කියලා. ගිම්හාන කාලෙට ඒ රටවල්වල දහවල් කාලය වැඩි වෙන්නත් ශිත කාලයට දහවල අඩු වෙන්නත් බලපාන හේතුවත් මේකයි. 

දැන් බලමු ඔය අවස්ථාවේදීම දක්ෂිනාර්ධ ගෝලයට මොකද වෙන්නේ කියලා. ඒකෙ වැඩි හරියක්ම තියෙන්නේ අඳුරේ. යන්තම් දවල් කාලෙට හිරු කිරණ ටිකක් ලැබුනට දවල් කාලය කෙටියි. බොහොම අඩු කිරණ ප්‍රමාණයක් ලැබෙන නිසා සෑහෙන සීතලක් දැනෙනවා ඒ ප්‍රදේශවලට. අන්න එහෙමයි දක්ෂිනාර්ධ ගෝලයට හිම පිරිච්ච සිසිරය ලබන්නේ. ඒ කියන්නේ උත්තරාර්ධ ගෝලයේ හඳ අල්ලපු රටට ගිම්හානය ලබද්දී දක්ෂිනාර්ධ ගෝලයේ කැන්ගරු දේශේට හිම වැටෙන්න ගන්නවා. 

ඉතින් අපේ පෘතුවිය ඔහොම හෙමිහිට ගිහිල්ලා September 23  කියන තැනට එනවා. ඒ ස්ථානයේදී අංශක 23 1/2 ඇලය බලපාන්නේ නැති බව රූපය බැලුවම පේනවා ඇති. ඒ වෙලාවේ ඇලය පිහිටන්නේ සූර්යයා දෙසටවත් ඉවතටවත් නෙමෙයි. ඉතින් අර්ධ ගෝල දෙකටම ආසන්න වශයෙන් සමානව හිරු කිරණ ලැබෙනවා. මේ කාලේදී (සරත් කාලයේදී) උත්තරාර්ධ ගෝලයට ගිම්හානය ඉවර වෙලා උණුසුම අඩු වෙන කාලේ. ඉතින් ගස් වැල් සිසිරයට සූදානම් වෙන්න උවමනා නිසා කොළ හලන්න පටන් ගන්නවා. ඊට කලින් ඒවා ලස්සන පාට වලට හැරෙන නිසා තමයි සරත් සමය මේ තරම් ලස්සන. 

ඉතින් ඔය විදියට පෘතුවිය එනවා December 22 කියන ස්ථානයට. ඒ වෙද්දී ගස් වල ඉතුරු වෙලා තියෙන්නේ නටු විතරයි. පළාතම හිමෙන් වැහිච්ච කාලයක්. හැබැයි ඒ උත්තරාර්ධ ගෝලයට. දක්ෂිනාර්ධ ගෝලයට නම් මේ කාලෙට ගිම්හානය තමයි. ජුනි 22 රූපයේ විරුද්ධ අවස්තාව තමයි මෙතන තියෙන්නේ. 
ඊ ලඟට මාර්තු 21 වෙද්දී උත්තරාර්ධ ගෝලයට වසන්තය ලබලා. කොළ හැලිච්ච ගස්, මල් වලින් වැහිලා යනවා. හිම අස්සේ හැංගිලා ඉඳපු තණකොළ ලා කොළ පාටට ඔලුව උස්සනවා. මිට සමගාමීව දක්ෂිනාර්ධ ගෝලයට සරත් සමය ලබනවා. 

ඉතින් ඔන්න ඔහොමයි සෘතු විපර්යාස ඇති වෙන්නේ.

අර රුපය බැලුවම ඔයාලට පේනවා ඇතිනේ ලංකාවට සෘතු විපර්යාසයක් නැත්තේ ඇයි කියලා. ලංකාව තියෙන්නේ සමකය ආසන්නයේ. ඒ නිසා පෘතුවිය ඉර දෙසට හෝ ඉවතට ඇල උනා කියලා ලංකාවට ඒක බලපාන්නේ නැහැ. ඒ හින්දා ලංකාව ඝර්මකලාපීය රටක් :)

Saturday, October 13, 2012

අමරණීය වෙන්න කැමතිද?

අමරණීය වෙන්න කැමතිද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කීප දෙනෙක් හරි "කැමතියි" කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ.   එහෙම හිතෙන එක ස්වාභාවිකයි. මරණයට තියන බය හින්දාත් තමන්ගේ නෑයින්, හිත මිතුරන්, දේපළ දාලා යන්න තියන අකමැත්ත හින්දාත් එහෙම හිතෙනවා ඇති. ඒවාට තියන ආසාව වැඩි වෙන තරමට ජීවත් වීමේ ආසාවත් වැඩි වෙනවා.

හැබැයි නිකමට හිතන්න අපිට අමරණීය වෙන්න අවස්ථාවක් ලැබුණා කියලා. එතකොට හැමදාටම නොමැරී ජීවත් වෙන්න පුළුවන්. මොකද හිතන්නේ?

                                                         ~~~~~~~~~~~~~~~~

"Tuck Everlasting" කියන්නේ 2002 වසරේ තිරගත උන චිත්‍රපටියක්. බලපු අය දන්නවා ඇති, ඒකෙ තියෙන්නේ හරිම ලස්සන කතාවක්.

"ජෙසී ටක්' කියන්නේ "ටක්" පවුලේ බාල පුතා. කැලේ තිබුණ එක්තරා දිය උල්පතකින් වතුර බීපු නිසා ඒ පවුලම අමරණීය බවට පත් වෙලා. ජෙසීත් ඔහුගේ අයියාත් දෙමව්පියනුත් කැලෑබද පුංචි ගෙදරක සරල, ලස්සන ජීවිතයක් ගෙවමින් ඉන්නවා. බැලූ බැල්මට හැම දෙනාම සතුටින්. මරණය ගැන කිසිම බයක් නැහැ. ලෝකේ සංචාරය කරන්න, කැමති කැමති දේවල් කරන්න ඕන තරම් කාලය, අවස්ථාව තියනවා.

ඔය අතරේ තමයි ජෙසී ට "විනී" මුණගැහෙන්නේ.


ඇය ඉතාම ලස්සන, දඟකාර තරුණියක්. ඇය ජෙසීගෙන් අමරණීය වීමේ රහස දැනගන්නවා. ජෙසී ට උවමනා වෙන්නේ ඇයත් අමරණීය බවට පත් කරගෙන හැමදාම සතුටින් ඇයත් එක්ක ඉන්න. ඒත් මේකට විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජෙසී ගේ පියා. අමරණීය වෙන එක පිටතින් පේන තරම් සුන්දර නැති බව ඇයට අවබෝධ කරලා දෙන්න ඔහු උත්සාහ කරනවා.

                                                         ~~~~~~~~~~~~~~~~~~

කොටින්ම, අමරණීය වෙනවා කියන්නේ දුකක්. හැමදාම එකම විදිහට එකම ශරීරය, රූපය, හැඩය ඇතුව ජීවත් වෙන එක වෙහෙසකරයි (ලස්සන උනත් කැත උනත් ඒකෙ වෙනසක් නැහැ). ඔයාලම හිතන්න හැමදාම එකම දේ එකම විදියට කණ්නාඩියෙන් දකින්න ගත්තොත් කොහොම හිතේවිද කියලා. ඔට්ටුයි අයිශ්වර්යා රායිට උනත් අවු 100 ක් ගියාට පස්සේ එයාවම එපා වෙනවා. ඒක තමයි මිනිස් මනසේ ස්වභාවය. ඉතින් සදාකාලිකවම එකම විදියට ඉන්න උනොත් කොහොමට තියෙයිද? ඒ වගේම එකම දෙමව්පියන්, සහෝදරයින්, නෑයින් සමග ජීවත් වෙන එක. සදාකාලිකවම එකම පිරිසක් සමග සම්බන්ධතා තියාගන්න උනොත් ඒකත් එපා වෙනවා නේද. මම දැකලා තියනවා "ලබන ආත්මෙවත් මට හොඳ සහකරුවෙක් /දරුවන්/ දෙමව්පියන්  ලැබුනොත්, හොඳ යහළුවන් ලැබුනොත්" කියලා හිතන අය. ඉතින් එහෙම අය අමරණීය උනොත් එහෙම, නෝ ඔප්ෂන්. නැත්නම් මෙහෙම හිතන්නකෝ. අමරණීය එක්කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේ ගියොත් කොහොමට හිටීවිද? :)

ඒ වගේමයි සහජ දක්ෂතා. ඒවත් වෙනස් වෙන්නේ නෑ. කෙනෙක් තාක්ෂණික පැත්තට දක්‍ෂතා ඇතුව ඉපදුනොත් ඔහුට සදාකාලිකවම කරන්න වෙන්නේ එච්චර තමයි. කොයිතරම් වෙහෙසකරද කියලා හිතලා බලන්න. ඒ විතරක් නෙවෙයි, මොනවා හරි හිත් රිදීමක් ඇති උනොත් ඒක සදාකාලිකවම හිතට වදයක්. මැරෙන මිනිස්සුන්ට වගේ නැවුම් මනසකින් ජිවිතේ අලුතින් පටන් ගැනීමක් නැහැ. කිසිම දුකක් නැතුව දිගටම සතුටින් හිටියොත් අවුලක් නෑ නේද කියලා ඔයාලට හිතේවි. ඒත් එහෙම වෙන්නේ නෑ. මොකද "සතුට" කියන්නෙත් සාපේක්‍ෂ දෙයක් නිසා. අපිට සතුට අර්ථදක්වන්න සිද්ධ වෙන්නේ "දුක" දිහා බලලා ඊට සාපේක්ෂව. දුකක් නැති තැන සතුටකුත් නැහැ. තියෙන්නේ ඇල්මැරුණු ගතියක් විතරයි. හැමදාටම ඇල්මැරුණු ජීවිතයක් ගතකරන්න කවුද කැමති?

ඉතින් මමනම් හිතන්නේ දුක, කඳුළු, හිත් රිදීම් වගේම මරණය කියන්නෙත් මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් එතන "ජීවිතයක්" කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

මේ තියෙන්නේ ජෙසී ගේ පියා වීනිට කියපු දේවල්වලින් ටිකක්..

"Look around you...It's teeming life...
Flowers and trees and frogs...It's all part of the wheel...
always changing...always growing...like you Winnie...Your life is never the same...
One day, you'll grow up...You'll have children and then one day, you'll go out...
just like the flame of a candle...That's the natural way of things...

And then, there's us...What we have, you can't call it living...
We just "are"....like rocks stuck at the side of a stream...

Death is part of the wheel...the same as being born...
You can't have living without dying..."

"ජීවයෙන් පිරුණු වටපිටාව දිහා බලන්න...මල්, ගහකොළ, සතුන්, මේ හැම දෙයක්ම රෝදයක කොටස් වගේ...නිරතුරුව වෙනස් වෙමින් වැඩෙනවා...හරියට ඔබ වගේ...
කවදාහරි දවසක ඔබත් ඉටිපන්දම් දැල්ලක් වගේ ලෝකයෙන් සමු ගනීවි...අලුත් ජිවිතයක් සොයා ගනීවි...
ඒත් අපි? මේකට ජිවත් වෙනවා කියලා කියන්න බැහැ....
අපි හරියට දිය පාරක අයිනේ හිර වෙලා තියන ගලක් වගේ. ...
ඉපදීම වගේම මරණයත් මේ චක්‍රයේ කොටසක්...මරණය නැති තැන ජිවත් වීමකුත් නැහැ...."

ඉතින් අන්තිමට විනී මොන වගේ තීරණයක්‌ ගනීවිද කියලා හිතන්න පුලුවන්ද? ඒක චිත්‍රපටිය බලලම දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා :)

ඉතින් ඔයාලා තව දුරටත් කැමතිද අමරණීය වෙන්න?

දුක, සතුට, දිනුම, පැරදුම, ආදරය මේ හැම දේම විඳින්න තරම් මනුසතුන් වාසනාවන්තයි. ඒ හැම දේකින්ම පිරුණ ජීවිතය උපරිමයෙන් විඳින්න. ජිවිතයට එක තැන රැඳෙන්න ඉඩ දෙන්න එපා.

ගඟ අසබඩ ගලක් නොවී පාවෙන වන මලක් වෙන්න.

"Don't be afraid of death...but the unlived life"




ප. ලි.

ලහිරු ගේ ආයුෂ ගැන පෝස්ට් එක දැකලා තමයි මට මේක මතක් උනේ.

Wednesday, October 3, 2012

නුවණැති දප්පුල - රාජාවලිය XXII



අපි පහුගිය රාජාවලිය ලිපිය නැවැත්තුවේ තුන්වන අග්බෝ රජතුමා රජ වුනු තැනින්. එතකොට අපි කිව්වනේ මේ රජතුමාට "දාඨසිව" ඇමතියාගෙන් කරදර ආවා කියලා (දාඨසිව කියන්නේ  තුන්වන අග්බෝ ගෙ අතින් මියගිය ජෙට්ඨතිස්ස රජතුමාගේ, ඇමතියෙක්). අද එතන ඉඳං පටන් ගමු. 

ඊට කලින් කියන්න ඕන තවත් දෙයක් තියනවා. තුන්වන අග්බෝ රජතුමා ගේ යුව රජ වෙලා ඉඳපු "මාන" කුමාරයා කරපු අපරාධයක් හෙළි වීම නිසා ඇමතිවරු එකතු වෙලා ඔහුව ජිවිතක්ෂයට පත් කළා ලු. ඉන් පස්සේ යුවරජ තනතුරට පත් වුනේ රජතුමාගේ සොහොයුරු "කාශ්‍යප". හමුදාව බාරව ඉඳපු මාන කුමාරයාගේ මරණය නිසා රජතුමාගේ යුධ ශක්තිය ඉතාමත් පහල අඩියකට වැටුනලු. මේ අවස්ථාව බලලා දාඨසිව ඉන්දියාවෙන් සේනාවක් අරගෙන ඇවිත් අග්බෝ රජතුමා එක්ක සටන් වදිනවා. ඒ සටනෙන් පරාජය වෙන තුන්වන අග්බෝ රජතුමාට ඉන්දියාවට පලා යද්දී දාඨසිව ඇමතියා "දාඨෝපතිස්ස" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 640 - 652). ඒත් දාඨෝපතිස්ස රජතුමාටත් වැඩි කල් රජකම් කරන්න නොලැබෙන්නේ නැවතත් අග්බෝ රජු ඉන්දියාවෙන් පැමිණ ඔහුගෙන් රජකම උදුරා ගන්නා නිසා. ඉන් පස්සේ දාඨෝපතිස්සත් නිකන් හිටියා කියලා හිතුවොත් ඒක වැරදියි. ඔහුත් කරන්නේ නැවතත් ඉන්දියාවෙන් සේනාවක් ගෙනත් අග්බෝ රජතුමාගෙන් රාජ්‍ය පැහැර ගන්න එක. මේ විදියට දෙන්නාගෙන් එක්කෙනෙක් දුබල වන තෙක්ම  මේ මරා ගැනිල්ල සිද්ධ වෙනවා. අන්තිමේදී මේ සටන් හින්දා තුන්වන අග්බෝ රජතුමාට සිද්ධ උනාලු රුහුණට පලා යන්න. ඔහු රුහුනේදී අසනීප වී ජීවිතක්‍ෂයට පත් උනත් ඔහුගේ යුව රජ වන කාශ්‍යප කුමාරයා නැවතත් දාඨෝපතිස්ස ට විරුද්ධව සටන් අරඹනවා. අවසානයේදී සටනින් ජයග්‍රහණය කර රජකම ලබාගත් ඔහු "කාශ්‍යප II" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 652 - 661). 

ඒ සටනෙන් පැරදිලා කලින් වතාවල වගේම ඉන්දියාවට පලා ගිය දාඨෝපතිස්ස ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න කාශ්‍යප රජතුමා වග බලාගතිපු නිසාම ඔහුගෙන් පසු කාලෙක එල්ල වුනු සතුරු ප්‍රහාරය වලකලා ඔහුව මරණයට පත් කරන්න කාශ්‍යප රජතුමාට හැකි වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි සෑහෙන කාලයක් තිස්සේ පැවතුනු ලක්දිව කලබල අවසන් වෙලා අපේ ඉතිහාසයට හුස්මක් කටක් ගන්න පුංචි විරාමයක් ලැබෙන්නේ. මේ සටනේදී දාඨෝපතිස්ස මරණයට පත් උනත් ඔහුගේ සහයට සටන් කරපු ඔහුගේ බෑනා වන "හත්තෝධා" පණ බේරාගෙන ඉන්දියාවට පලා යනවා. 

ඉතින් දෙවන කාශ්‍යප රජතුමා ට පැවරෙන ලොකුම කාර්ය භාරය තමයි ඒ වනවිට පිරිහිලා තිබුණු වාරි කර්මාන්තය, කෘෂි කර්මාන්තය, සාසනික කටයුතු වගේම සමාජයත් ගොඩ ගැනීම. ඉන්දියාවෙන් විටින් විට ආපු ද්‍රවිඩ සේනා වල නොමනා හැසිරීම මැඩ පවත්වන්නත් ඔහුට සිද්ධ උනාලු. ඉතින් මේ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්නත් ඔහුට පුළුවන් උනාලු. ඒත් මෙහෙම හොඳින් රජකම කරගෙන ඉඳිද්දී මේ රජතුමා අසනීප වෙන්නේ ඉතාමත් අවාසනාවන්ත විදිහට. කිසිම වෙදකමකින් පලක් නොවුණු තැන රජතුමා හිතනවා මේ ඔහුගේ අවසානය බව. රජකම පැවරීමට තරම් සුදුසු වයසක ඔහුගේ දරුවන් නොසිටි නිසා ඔහුගේ බෑනා කෙනෙක් වන "මාන" කුමාරයාට රජකම දෙන්න තීරණය කරනවා. රජතුමා මියගියාට පස්සේ මේ මාන කුමාරයා රුහුණේ ඉඳලා රජරට ට එනවා. 

ඒත්, රාජ්‍ය පාලනය මාන කුමාරයා හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ වෙද්දී ඉන්දියාවෙන් වරින් වර අරගෙන ආපු දමිළ සේනා ලංකාවේම පැලපදියම් වෙලා තිබුණා. ඔවුන්ට වෙනම ගම්මාන පවා පිරිනමලා තිබුණා වගේම උසස් තනතුරුත් ප්‍රදානය කරලා තිබුනලු. මේ නිසා සැළකිය යුතු මට්ටමේ බලයක් තිබුණු ඔවුන් මාන කුමාරයාගේ පාලනයට විරුද්ධ උනා ලු. ඉතින් මාන කුමාරයා මොකද කළේ, දෙමළුන්ව අගනුවරින් එළවලා දාපු එක. මේ ගැන කිපුණු දෙමළ ජනතාව කුමන්ත්‍රණයක් දියත් කළාලු මාන කුමාරයා බලයෙන් පහ කරන්න. ඔවුන් මේක කරන්නේ මාන කුමාරයා නුවරින් බැහැර ගිය වෙලාවක් බලලා. ඒ වෙද්දී ඉන්දියාවේ රැකවරණය ලබමින් ඉඳපු දාඨෝපතිස්ස ගේ බෑනා වන හත්තෝධා ට පණිවිඩ යැව්වලු ඉක්මනින් ලංකාවට ඇවිත් රාජ්‍ය ලබා ගන්න කියලා.  ඒත් මේ ගැන දැන ගතිපු මාන වහාම ඔහුගේ පියා වන "දප්පුල" ගේ සහාය පතනවා. 

දප්පුල ටිකක් නුවණක්කාරයි. දෙමළුන් සමග සටනට නොගිහින් ලේසියෙන් ඔවුන් අවනත කරගන්න උපායක් ඔහු කල්පනා කරනවා. ඒ සඳහා ඔහු සේවකයින් කිහිප දෙනෙක් තෝරා ගෙන දෙමළුන් අතරට යවනවා, කටකතා පතුරවලා ඔවුන් අතර ගැටුම් ඇති කරවන අදහසින්. ඉතින් ඒ අභිප්‍රාය හරියටම ඉෂ්ට වෙනවා විතරක් නෙමෙයි, ද්‍රවිඩයින් මාන කුමරුට පකෂ්පාතිත් වෙනවා. මේ විදියට උපායෙන් ඒ ප්‍රශ්නය විසඳ ගත්තට පස්සේ මාන කුමාරයා තමන්ගේ පියා වන දප්පුලට රජකම බාර දෙනවා. දප්පුල රජතුමා (ක්‍රි. ව. 661 - 664) ගැන කියනවනම් ඔහු එවකට රුහුණේ පාලකයා වූ "තිස්ස" ගේ පුත්‍රයෙක්. ඔහු අයත් වෙන්නේ ඔක්කාක වංශයට.  

මේ විදියට දප්පුල රජතුමා රජකම් කරන අතරේ අර හත්තෝධාථ ඉන්දියාවෙන් ද්‍රවිඩ සේනාවකුත් අරගෙන එනවා, රාජ්‍ය අල්ලාගන්න අදහසින්. මෙතැනදී ලොකුම අවාසියට හිටින්නේ ලංකාවේ ඉඳපු ද්‍රවිඩයිනුත් ඔවුන්ට එකතු වෙන එක. මේ නිසා ජය ගැනීම අපහසු බව දුටු දප්පුල රජතුමා රුහුණට පළා ගොස් ස්වාධීනව පාලන කටයුතු කරන අතර මාන කුමරු දිගා මඩුලු ප්‍රදේශයේ ස්වාධීන පාලනයක් ඇති කරනවා. හත්තෝධාථ, "දෙවන දාඨෝපතිස්ස" නමින් අනුරපුරයේ රජ වෙනවා (ක්‍රි.ව. 664 - 673). ඔහු රජකම ලබා ගත්තේ ද්‍රවිඩයින් ගේ සහයෙන් නිසා ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට අනුව රජකම් කරන්න සිද්ධ වුන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මේ අස්ථාවර අවස්ථාව දැකපු මාන කුමාරයා සේනාවක් රැස් කරගෙන දෙවන දාඨෝපතිස්ස සමග සටනට යනවා. එහෙත් ඒ සටනින් මාන කුමරුට මැරුම් කන්න සිද්ධ වෙන නිසා ඒ සොවින්ම දප්පුල රජුත් මිය යනවා. 

ඉතින් ඔන්න ඔහොමයි දප්පුල, මාන පිය පුතු දෙපළගේ අවසානය සිද්ධ වෙන්නේ. ලක්දිව ඉතිහාසයේ මී ළඟ කාල පරිච්ඡේදය මොන වගේ එකක් වේවිද කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු. 

Related Posts Plugin for WordPress, Blogger...