Friday, September 30, 2011

කුණාටු වලට නම් දෙන හැටි



හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට "සුළි කුණාටු" එහෙම නැත්නම් "ටෝර්නේඩෝ" කියන්නේ එයාලට තියන ලොකුම ජීවිත තර්ජන වලින් එකක්. ඕනම වෙලාවක සයිරන් සද්දයක් ඇහුනොත් basement වලට දුවන්න බලාගෙන තමයි එයාලා ඉන්නේ. ඔය කියන කුණාටුවක් හරියට දැක්කොත් පේන්නේ උඩ තියන පින්තූරේ විදියටලු (එහෙම එකක් දකින්න ලැබෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියලනම් මම දන්නේ නැහැ). මටත් ඔය වගේ පුංචි අත්දැකීමක් නම් තියනවා (ඒත් ඒ වෙලාවේ කුණාටුව ගිහින් තිබුනේ අපි ඉන්න තැනට ගොඩක් ඈතින්. ඉතින් අපිට තේරුණා ලගින් ගියොත්නම් සොරි තමයි කියලා worried). මොනවා උනත් ඒවායින් වැඩක් නැහැ, මේ කියන්න යන්නේ ඔය කුණාටු වලට නම් දෙන හැටිනේ.

මුලින්ම කියන්න ඕන ඔය උඩින් දාලා තියන වර්ගයේ කුණාටු (ටෝර්නේඩෝ) වලට නම් දැමීමක් කෙරෙන්නේ නැහැ (ඒවා ඒ තරමටම සුලබ නිසා වෙන්න ඇති). නම් දාන්නේ, ඊට වඩා ලොකු, සති කිහිපයක් උනත් පවතින්න පුළුවන් hurricane (සිංහලෙන් අවපාත වෙන්න ඕන) වලට. මේ හරිකේන් වල අතුරු ඵලයක් විදියට තමයි ගොඩක් වෙලාවට ටෝර්නේඩෝ ඇති වෙන්නේ. මෙන්න මේ පින්තූරේ තියෙන්නේ හරිකේන් එකක්. ඔය මැද හිලක් වගේ පේන එකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයිලු අවපාතයේ ගොඩක්ම පීඩනය අඩු තැන.



ඉතින් ඔය හරිකේන් වලට නම් දාන්න හරි ලස්සන ක්‍රමයක් තියනවා :) මම ලේසියට කුණාටු කියලම කියන්නම්. 
ඔයාලා අහල ඇතිනේ මෙන්න මේ වගේ කතා ...

"මේ පාර කත්‍රිනා සැරටම ඇවිල්ලා"
"රීටා ආපහු එනවලු" 

ඉස්සර මේවා ඇහුණාම මටනම් හිතුනේ මෙහෙම..."රීටා ආපහු එන්න එයා මෙච්චර කල් හිටියේ කොහෙද? අනිත් එක ඒ එන්නේ රීටා මයි කියලා මෙයාල දන්නේ කොහොමද?" thinking 
ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

මේ වැඩේට හදල තියනවා නම් ලයිස්තු 6 ක් . එක ලැයිස්තුවකට නම් 21 ක් ඇතුලත්. මේ නම් වල මුල අකුරු තියෙන්න ඕන ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට. (Q, U, X, Y, Z කියන අකුරු අත අරිනවා. ඒකයි නම් 21 ක් එන්නේ). ලැයිස්තුවක නම් එකක් හැර එකක් ගැහැණු නමක් හා පිරිමි නමක් විය යුතුයි (ඉස්සරනම් ගැහැණු නම් විතරලු දැම්මේ big grin). මේ පහලින් තියෙන්නේ දැනට තියන නම් ලයිස්තු 6. 


2011         2012          2013           2014             2015              2016
Arlene
Bret
Cindy
Don
Emily
Franklin
Gert
Harvey
Irene
Jose
Katia
Lee
Maria
Nate
Ophelia
Philippe
Rina
Sean
Tammy
Vince
Whitney
Alberto
Beryl
Chris
Debby
Ernesto
Florence
Gordon
Helene
Isaac
Joyce
Kirk
Leslie
Michael
Nadine
Oscar
Patty
Rafael
Sandy
Tony
Valerie
William
Andrea
Barry
Chantal
Dorian
Erin
Fernand
Gabrielle
Humberto
Ingrid
Jerry
Karen
Lorenzo
Melissa
Nestor
Olga
Pablo
Rebekah
Sebastien
Tanya
Van
Wendy
Arthur
Bertha
Cristobal
Dolly
Edouard
Fay
Gonzalo
Hanna
Isaias
Josephine
Kyle
Laura
Marco
Nana
Omar
Paulette
Rene
Sally
Teddy
Vicky
Wilfred
Ana
Bill
Claudette
Danny
Erika
Fred
Grace
Henri
Ida
Joaquin
Kate
Larry
Mindy
Nicholas
Odette
Peter
Rose
Sam
Teresa
Victor
Wanda
Alex
Bonnie
Colin
Danielle
Earl
Fiona
Gaston
Hermine
Ian
Julia
Karl
Lisa
Matthew
Nicole
Otto
Paula
Richard
Shary
Tobias
Virginie
Walter


2011 වසර සඳහා පාවිච්චි කරන ලිස්ට් එක තමයි මුලින්ම තියෙන්නේ. දෙවැනි ලැයිස්තුව 2012 ටත් තුන් වෙනි ලැයිස්තුව 2013 ටත් මේ විදියට ලයිස්තු 6 බෙදල දෙනවා අවුරුදු වලට. 2011 අවුරුද්දේ එන මුල්ම කුණාටුවට නම තියන්නේ "Arlene" කියලා. දෙවෙනි කුණාටුවට "Bret". අවුරුද්ද ඉවර වෙන්න කලින් නම් 21 ම ඉවර උනොත් ඊ ළග අවුරුද්දේ නම් වලට යනවා. ලේසියි නේද?

දැන් එතකොට 2017 ට ලිස්ට් එකක් කෝ? ආ ඒකට අලුතෙන් ලිස්ට් හදන්නේ නැහැ. 2011 ලිස්ට් එකමයි ආපහු 2017 දීත් ගන්නේ. 2018 දී ගන්නේ 2012 ලිස්ට් එක. මේ විදියට ඔය නම් ලිස්ට් 6 නැවත පාවිච්චි වෙනවා. මේ නිසා තමයි "2005 දී ආපු  Arlene ආපහු 2011 දී එනවා" වගේ කතා කියන්නේ. එහෙම නැතුව එකම කුණාටුව කොහේ හරි ඉඳලා ආපහු එනවා නෙමෙයි :).

හරි, දැන් මේ විදියට මේ ලිස්ට් 6 තමයි දිගටම පාවිච්චි කරන්නේ. හැබැයි එක ප්‍රශ්නයක් තියනවා. අපි හිතමු 2011 දී ආපු දෙවනි කුණාටුව ගොඩක් විනාශකාරී එකක් කියලා. ඒකට නම වැටෙන්නේ Bret කියලනේ. ඊට පස්සේ Bret කියන නම ලැයිස්තුවලින් කපා හරිනවලු. ආපහු කවදාවත් ඒ නම කුණාටු වලට දාන්නේ නැහැලු.  ඊ ළගට Bret නමින් හමන කුණාටුව පොඩි පහේ එකක් උනොත් කලින් එකට අගෞරවයක් වගේ වෙයි කියලා තමයි මෙහෙම කරන්නේ. මේ විදියේ විනාශකාරී කුණාටු වලට උදාහරණ තමයි Katrina (මෙයා නිසා මිනිස්සු 2000 ක් විතර මැරුණා ලු 2005 දී) සහ Andrew. බලන්න ඒ නම් දෙක මේ ලැයිස්තුවල නැහැ. ඒ වෙනුවට වෙන නම් ඇවිත් (Katia සහ Alex).

ඔන්න ඔහොමයි ඉතින් කුණාටු ගැන කතාව.  මේ ලිපියේ සමහර විට වැරදි ඇති. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න :)


Wednesday, September 28, 2011

මෙහෙමත් මුදලාලිලා සහ මෙහෙමත් කස්ටමර් ලා




කම්මැලි කම කියන්නේ මුදලාලි කෙනෙක්ට නම් කොහෙත්ම නොතිබිය යුතු ගුණාංගයක්. ඒත් ඉතින් ඉඳල හිටලා එහෙම මුදලාලිලාත් ඉන්නවා. මේ කියන්න යන්නේ එහෙම කෙනෙක් ගැන.

මගේ යාළුවෙක් හිටියා (තාමත් ඉන්නවා) චාරු කියලා. අපි දෙන්නා කැම්පස් යන කාලේ එක බෝඩිමේ හිටියේ. බෝඩිම කැම්පස් එකට ටිකක් දුරයි. ඒ හරියේ තිබුනේ එකම එක කඩයයි. නැත්නම් කැම්පස් එක කිට්ටුවටම යන්න වෙනවා පොඩි බඩුවක් ගන්නත්. ඉතින් අපි දවසක් ඔය කඩේට ගියා "සම පෝෂ" ගන්න big grin . ඒ දවස්වල ඉතින් ඒක තමයි අපේ ජාතික ආහාරය(පව් අපි).

කඩේ කවුරුවත් පේන්න හිටියේ නෑ. පඩිය උඩට නැග්ගම තමයි දැක්කේ මුදලාලි කඩේ ඇතුලට වෙන්න වාඩි වෙලා ඉන්නවා...අපි ඉතින් ටිකක් සද්දෙන් ඇහුව "අංකල් සමපෝෂ තියද?" කියලා. මෙයා උත්තර දෙන්නෙ නැතුව කල්පනා කරනවා ....අපිත් ඔහේ බලාගෙන හිටියා. අංකල් කිව්වට තද වෙලාද දන්නෙත් නැහැනේ 
thinking.  ඔන්න විනාඩියකට විතර පස්සේ උත්තරයක්‌ ආවා....

"නැහැ මං හිතන්නේsurprise 
එතකොට මුදලාලි දන්නේ නැහැ එයාගේ කඩේ සමපෝෂ තියද කියලා confused.  ඔන්න එතකොට චාරු කට ඇරියා.

"පොඩ්ඩක් බලලා කියනවද?"
ඉතින් මුදලාලි බොහොම අමාරුවෙන් නැගිටලා පැයට මීටර් පන්සීයේ වේගෙන් ගියා රාක්ක තියන තැනට. එතන පොඩ්ඩක් අවුස්සලා බලලා අර වේගෙන්ම ඇවිත් කිව්වා...

"නැහැ තමයි"
අප්පා දැන් ඉතින් කැම්පස් එක ලගටම පයින් යන්නද, අපි ඉතින් තව ට්‍රයි එකක් දැම්මා.

මම: වෙන ඒ වගේ දෙයක්වත් නැද්ද? නෙස්ටම් වත්? blushing
මුදලාලි : ම්.........ආ ...........රන්පෝෂ කියල එකක් නම් තිබුනද කොහෙද................
(මළ පැනපු) චාරු : ඒක පොඩ්ඩක් ගේනවද බලන්න

ඔන්න ඉතින් අර වගේම වෙලාවකට පස්සේ මෙයා ආවා රන්පෝෂ පැකට් එකකුත් අරගෙන. නිකන් අපිට ඕනවට වගේ තමයි ආවේ (හරිනේ ඉතින් අපිටනේ ඕන).

චාරු: මේක අළුතෙන් ද ආවේ?
මුදලාලි : හ්ම්
චාරු : මේ සයු, මේක කලින් කාල නැති නිසා ලොකු size එකක් ගෙනිහින් අප්සට් උනොත් අපරාදේ...
මම : හ්ම් worried
චාරු: අංකල් අපිට මේකේ පොඩි සයිස් එකක් දෙනවද?

d'oh
අනේ අර මනුස්සයා ආපහු සැරයක් මැරෙන්න යන හරකා වගේ ගිහින් පොඩි සයිස් එකක් ගෙනත් දුන්නා. දැන් චාරු මේක එහෙට මෙහෙට කරකව කව බලනවා. මොන මගුලක් කරනවද මන්දා ගත්තනම් සල්ලි දීලා යන්නෙ නැතුව. ටික වෙලාවක් ඔහොම ඉඳපු චාරු ඔන්න අන්තිමට මෙහෙම කිව්වා....

"මේක සමපෝෂ තරම් හරි නෑ වගේ. අංකල් මේක තියන්න, අපිට එපා". no talking
හප්පේ අර මනුස්සයා හිතපු ඒවා මට ඇහුණා වගේ දැනුනා. හැබැයි අපරාදේ කියන්න බෑ ඒ මනුස්සයා අපිට එරෙව්වේ වත් නැහැ (ඒකටත් කම්මැලි ඇති ෂුවර් එකටම). මම ඉතින් ඉක්මනට චාරුත් ඇදගෙන එලියට බැස්සා.

චාරු: හිකි හිකි...
මම: මොනාද හලෝ අර කරේ
චාරු: එහෙම තමයි හලෝ ඔහොම කම්මැලියොන්ට කරන්න ඕන

බොරු කියන්න ඕන නැහැනේ, ඊට පස්සෙත් අපි ඔය කඩේ පැත්තේ ගියා ඒ මනුස්සයව ටිකක් ඇවිද්දවන්න හිතුනම :)

Monday, September 26, 2011

මරණින් මතු ජිවිතය


කවුරු උනත් මැරෙන්න බයයි නේද? (එහෙම නැති අයත් ඇති). මේ භයට හේතුව තමන් ආදරය කරන අය දාලා යන්න වෙන එකද? මරණයේදී දැනෙන වේදනාවද? එහෙමත් නැත්නම් මැරුණට පස්සේ අපිට වෙන දේ ගැන අදහසක් නැති කමද? මේ හැම දේම බලපානවා කියලයි මට හිතෙන්නේ.

කොහොම උනත් මටනම් ඒ කාලේ ආසාවක් තිබුණා ඔය මැරුණට පස්සේ වෙන දේ ගැන හොයල බලන්න. (මැරිලා බැලුවේ නැද්ද කියල අහන්න එපා big grin ) .  සමහරු නම් පුනරුප්පත්තියක් ගැන විශ්වාස කරන්නෙත් නැහැනේ. මම නම් විශ්වාස කරනවා ඔන්න. මට හිතෙන විදියට ඒකට ඕන තරම් සාක්ෂි තියනවා. තමන්ගේ පෙර ආත්මේ  ගැන කියන අයත් ඒ කියන විස්තර හොයා ගෙන ගිහින් ඒවා ඇත්ත කියලා සනාථ කරපු  අවස්ථාත් අපි දැකල තියනවනේ.


ඊ ළගට ගොඩක් අය විශ්වාස කරනවා ගන්ධබ්බ අවස්ථාවක් ගැන. කෙනෙක් මැරුණම තවත් කලලයකට ඇතුල් වෙන්න කලින් ටික කලක් (දිග කාලයක් වෙන්නත් පුළුවන්) ගන්ධබ්බයෙක් විදියට ඉන්නවා ලු. හැබැයි සමහරු මේ කතාව පිළිගන්නේ නැහැ. එයාලා කියන්නේ කෙනෙක් මැරුණ ගමන්ම වෙනත් කලලයකට ඇතුල් වෙනවා කියලා. හරියට කූඩල්ලෙක් ගමන් කරනවා වගේ එක තැනක් අත ඇරපු ගමන් තව තැනක් අල්ල ගන්නවලු. මම නම් පිළිගන්නේ පළවෙනි මතය.  මොකද ඔය පෙර ආත්මේ ගැන කියපු අය විස්තර කරන විදියට සමහරු මැරුණ දවසත් නැවත ඉපදුන දවසත් අතර අවුරුදු ගණනක පරතරයක් තියන අවස්ථාත් තියනවා. අනිත් එක එහෙම උනානම් මේ කාරණය පැහැදිලි කරන්න බැරි වෙනවා. අපි හිතුවොත් ජීවීන්ගේ ආරම්භය ගැන, ඒ වගේ ඉතාමත් සුළු ප්‍රමාණයක් ජීවීන් ඉඳපු කාලෙක කැමති එකක් තෝර ගන්න තරම් කළල කොහෙන් හොයන්නද? එතකොට අද ජිවත් වෙන ගොඩක් අය ඒ කාලේ ඉන්න ඇත්තේ  ගන්ධබ්බ ස්වරූපයෙන් නේද? thinking


කොහොම උනත් මේ ගැන ඇත්ත හොයන එකනම් අමාරු වැඩක්. ප්‍රායෝගිකව කරලා බලන්න බැහැනේ. හැබැයි බෙල්ලන ඥානවිමල හිමියන්ගේ පොතක තිබුණා එහෙම කරපු කෙනෙක් ගැන, මහාචාර්ය "මයර්ස්". එයා මැරුණම එයාගේ විස්තර ස්වයංක්‍රීය පැන්සල් වලින් ලියෙව්වලු. එයා ගන්ධබ්බ අවස්ථාව විස්තර කරලා තියෙන්නේ මහල් (layers) හතකින් යුත් ගෙයක ගමන් කරන්නෙක් විදියට. මයර්ස් ගේ සත් මහල ගැන වෙනම ලිව්වොත් හොඳයි (ඒත් මේ ලිපියට කවුරු හරි කැමති උනොත් විතරයි :). අපි ඒ ලෙවල් කරන කාලේ හැම කෙනාම ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන කියලා නීතියක් ඇවිත් තිබුණා. ඉතින් මම තෝර ගත්තේ මේ මාතෘකාව. රිපෝට් එක හදලා මිස් ට දුන්නම ඇස් පියාගෙනම A එකක් දුන්නා "මට වල පයයි ගොඩ පයයි ඉඳගෙන ඕව කියවන්න බෑ" කියලා big grin


මේ ගැන නම් නොවිසඳුණු ප්‍රශ්න ඕන තරම් තියනවා. ඒත් කවුරු හරි මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවනම් කියල දුන්නොත් ලොකු දෙයක්..


විශ්වයේ (ජන ගහනය + සත්ව ගහනය  + ගන්ධබ්බයින් ගණන) නියතයක් ද? උදාහරණයක්‌ විදියට ජන ගහනය වැඩි වෙද්දි ඊට සාපේක්ෂව සත්ව ගහනය + ගන්ධබ්බ ගහනය අඩු වෙනවද? (හැමෝම එක පාර ළමයි හැදුවොත් ගන්ධබ්බ හිඟයක් ඇති වෙයිද? thinking) එහෙම නැත්නම් කාලයත් සමග අලුතෙන්  ගන්ධබ්බයින් උත්පාදනය වෙනවද? එහෙමත් නැත්නම් මේවා ගැන හොයන අපිට පිස්සුද? big grin



Saturday, September 24, 2011

"ය ව හ න්" දෝෂය


හැමදාම කවි ගැන ලියන එක හරිද මන්දා...ඒ වුනත් අපේ සාහිත්‍ය ට ලැදි අනාගත පරම්පරාවට වත් වැදගත් උනොත් කියලා ඔන්න ඔහේ ලියලා තියන්න හිතුවා. අපි නැති කාලෙක හරි වැඩක් ගත්තොත් ලොකු දෙයක්නේ :)

මම නොතේරෙන කවි ලිපියෙදි කිව්ව නේ ඉස්සර මගේ කවි බලපු ඕඩියන්ස් එක ගැන big grin . ඒත් එක්කෙනෙක් අඩුයි එතන.   ඒ තමයි අපේ තාත්තා. තාත්තගෙ ප්‍රතිචාර ලේසියෙන් ලියන්න බැරි නිසා ලිව්වේ නැහැ. මේ ලිපියෙන් කියන්න යන්නේ එයින් එක ප්‍රතිචාරයක් ගැන.

ඔන්න මේ තියෙන්නෙ මම ලියපු කවියක් (ඔරිජිනල් කවියනම් දැන් මතක නැහැ...ඒත් ගොඩක් දුරට මේ වගේ තමයි :)

එන සැඩ සුළගින් ගං දිය සැලු               නෙන් 
කැළඹුණු ලෙසකින් පිහිනයි රළ              මින් 
හැරි හැරි බලමින් යයි හිරු  හඬ               මින් 
හිනැහුණු අහසම පුරවා අඳු                   රෙන්


ඔයාලට මේ කවියේ මුකුත් වැරැද්දක පේනවද? අපේ තාත්තටනම් පෙනුනා....

යවහන් දෝෂය hypnotized 
ඈ.. ඒ මොකක්ද?

මෙන්න මේකයි යවහන් දෝෂය කියන්නේ. කවි පද හතරේ  අග අකුරු  සාමාන්‍යයෙන් එකම අකුරක්‌ බව හැමෝම දන්න දෙයක්නේ. මේ කියන දෝෂය අදාළ වෙන්නේ අග අකුර මෙන්න මේ අකුරු හතරෙන් එකක් උනොත් තමයි - ය ව හ න්

මම ඔය උඩින් දාලා තියන කවියත් ඔය වර්ගෙට වැටෙන කවියක් (අග අකුර හල් 'න' යන්න නිසා). දැන් බලමු යවහන් දෝෂය තියද කියලා බලන හැටි. නීතිය තමයි ඔය වර්ගයේ කවියක අග අකුරු හතරට කලින් තියන අකුරු හතරත් එක සමාන වෙන්න ඕනලු. එහෙම නැත්නම් තමයි යවහන් දෝෂය තියනවා කියන්නෙ. දැන් බලන්න මගේ කවියේ ඔය දෝෂය තියනවා. අග අකුරු වලට ඉස්සරහ අකුරු(නෙ, මි, මි, රෙ) එක සමාන නැති නිසා.

පද හතර එහෙ මෙහෙ කරලා ඔය දෝෂෙ ඇර ගන්නත් පුළුවන් මේ විදියට.

ගං දිය සැලුනෙන්  සැඩ නල සිඹි      මින් 
කැළඹුණු ලෙසකින් පිහිනයි රළ      මින් 
හැරි හැරි බලමින් යයි හිරු  හඬ       මින්
අඳුරුයි අහසම පල නැත වැනු          මින්   

 big grin
මම හිතන්නෙ අපිටනම් මේක නීතියකට වඩා රීතියක්. හැබැයි හරියට කවි ලියනවනම් මේක නීතියක් වෙන්න ඇති. මම ඉතින් සැළලිහිණිය, ගුත්තිලය, සුභාෂිතය වගේ පොත් වල බැලුවා වැරදිලාවත් මේ දෝෂය තියන කවියක් තියද කියලා. එකක්වත් හම්බ උනේ නැහැ...මටත් පිස්සුනේ ඉතින් සිංහලේ මහා කිවිවරුන්ගේ කෘති වල යවහන් දෝෂ තියනවද හොයන්න straight face  

Thursday, September 22, 2011

නොතේරෙන කවි


කවියක් ලියන්නනම් ඒකට හැකියාවක් තියෙන්න ඕනලු. අනිත් අයටත් තේරෙන විදියට කවියක් ලියන්නනම් ඊටත් වඩා හොඳ හැකියාවක් තියෙන්න ඕනලු (ඇත්තද දන්නෙ නැහැ).

මටත් පොඩි කාලේ ඉඳලම කවි ලියන පිස්සුවක් තිබුණා. කොහොම උනත් මටනම් ඔය දෙවනියට කියපු වැඩේ කරන්න හරිම අමාරුයි. මම කවියක් ලියලා කාට හරි පෙන්නන්නේ ඉතින් පැයක් විතර ඒක තේරුම් කරලා දෙන්නත් බලාගෙන තමයි.

මේ තියෙන්නේ මගේ කවි බලපු අයගෙන් අහගත්ත කතා ටිකක්....

මගේ යාළුවෝ :  "ෂා ලස්සනයි.....හැබැයි තේරුනේ නෑ නේ" thinking

වෙන්ඩ ජිවන සහකරු (දැන්නම් වෙන්ඩ කෑල්ල කැපිලා) :  "එළ කිරි....මොකක් ගැනද මේ ලියල තියෙන්නෙ?"
thinking

අම්මා :  "මේකට අටුවා + ටීකා ලියන්නත් වෙයි වගේ"

මල්ලි : "හික් හික්"

ලොකු අම්මගෙ දුව : "ආ මටනම් මේක තේරුණා....(praying).....ඔයා මේ ලියල තියෙන්නෙ වෙසක් එක ගැන නේද?" (හපොයි. මම ලියල තිබුනෙ දළදාව ගැන surprise)

මේ තියෙන්නේ තවත් සිද්ධියක්

සංගීත ගුරුතුමිය : සයුරිට පුලුවන්ද සරස්වතී ගීතයක් ලියල දෙන්න?
මම : ම්ම්... ඒක ටිකක් සංකීර්ණ විදියට ලියන්න වෙයි නේද?
ගුරුතුමිය : නෑ නෑ..ඔයා සාමාන්‍යයෙන් ලියන විදියට ලිව්වම හරි...

ඔන්න ඔහොමයි ඒ කාලේ තත්වේ....  

හැබැයි දැන්නම් ඒක ටිකක් වෙනස් වෙලාද කොහෙද

නිකසල තරු දිලෙයි සේ මසුරන්     කාසී 
ඒ පැහැ දැක සැලෙයි විලිකුන් අන්  නාසී

මේක කාටහරි තේරෙනවනම් මම දිනුම් :)

Tuesday, September 20, 2011

හැම තාත්තෙකුගේම සිතුවිලි

මේ  පොත  ගැන  මීට  කලින්  කොහේ  හරි  ලියවිලාත්  ඇති. ඒත්  මම  හිතන්නේ  මේ  ගැන  කොයි  තරම්  ලිව්වත්   වැරැද්දක්  වෙන  එකක්  නැහැ. "හැම  තාත්තෙකුගේම  සිතුවිලි"  කියන්නේ  ඒ  තරමටම  ලස්සන  පොතක්  නිසා. දැනට  මේ  පොත ලඟ  තියන හුඟ දෙනෙකුට වගේම  මටත්  මේ  පොත  ලැබුනෙ  මගේ  තාත්තගෙන්. 

පොතේ  පිට  කවරේ  හරියට  මෙන්න  මේ  වගේ



පොත  පුරාවටම  තියෙන්නේ  දුවෙක්  ඉන්න  තාත්ත  කෙනෙක්ගේ  හිතට  එන  සිතුවිලි.  දුව ගැන  තියන  ආදරේ,  එයා  නොදැන  කරන  දේවල්  වලින්  තාත්තාගෙ  හිත  රිදෙන  හැටි, දරිද්‍රතාවය   නිසා  දුවට  වෙන  අඩුපාඩු  ගැන  හිතලා  දුක්  වෙන  හැටි,  වයසින්  වැඩෙද්දි  තාත්තත්  දුවත් අතර ඇති  වෙන  පරතරය  තාත්තා  කෙනෙක්ට  දුකක්  බව  හරිම සංවේදී  විදියට  සිදුවීම්  ආශ්‍රයෙන්  ලියලා  තියනවා.  පොතේ  මුල්  පිටු  දෙක  කියවන්නත්  කලින්  මගේ  ඇස්  දෙකට කඳුළු පිරුණා.  ඉතින්  හිතා  ගන්න  පුලුවන්  නේද  මුළු  පොතම  කියවද්දි  කොහොමට  තියෙන්න  ඇත්ද  කියලා.

ගොඩක්  දෙනෙක් තාත්තලා  ගැන  නොහිතන  නොදකින  පැත්තක්  මේ  පොතෙන්  ලස්සනට  පෙන්නලා  දෙනවා.  මමනම්  හිතන්නේ  හැම  දුවෙක්  විසින්ම  කියවිය  යුතු  පොතක්  කියලයි  (පුතාලටත්  කියෙව්වට  වරදක්  නැහැ  :).  මේ  දෙවල්  හැම  තාත්තා  කෙනෙක්ටම  පොදුයි.   තාත්තලා හැගීම් ප්‍රකාශ  කිරීමේ  දක්‍ෂයෝ   නෙමෙයි  (මගේ  තාත්තත්  එහෙමයි).  ඒත්  එයාලගෙ  හිත්  ඇතුලේ  මොන  තරම්  සිතුවිලි  ගොඩක්  හිර  කරගෙන  ඉන්නවා  ඇත්ද?

මේ  පොතේ  කතෘ  "මහේෂ්  රත්සර  මද්දුමආරච්චි".  පොතේ  පිදුම  තියෙන්නේ  මද්දුමාරච්චිගෙ බිරිඳට. ඒක  කෙලින්ම  කියලා  නැහැ.  බලන්න  කියලා  තියන  හැටි, 

"නුඹ මගේ දරුවාට කුස යහන නොතැනුවානම්
කොයින්ද  මේ  තරම් සොඳුරු ආදරණීය  සිතුවිලි...."

ඉතින්  පොතේ  අන්තර්ගතය  කොයි  තරම්  ලස්සන  වෙන්න  ඕනද?

"පුන්චි  දවස්වල  නින්දට  යද්දී"  සින්දුව  කොයි  තරම්  සොඳුරුයි ද  සංවේදීයි ද   මේ  පොතත්  ඒ  තරමටම  සොඳුරුයි  සංවේදීයි..... සමහරවිට  ඊටත්  වඩා....

Monday, September 19, 2011

පහනින් පහන් සිය ගනනක්

සුලං සැරින් සැලෙන පහන්
නොමින් බිඳෙන් බිඳ දල්වමි
වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්
වලින් පහන් වැට සරසමි

පහන් සිලෙන් ගලන කැලුම්
නුවන් විඳිනු දැක තුටු වෙමි
සදොස් වෙසින් හමන පවන්
පසන් සිතින් විඳ සැනසෙමි
Related Posts Plugin for WordPress, Blogger...