ඔන්න අපි ගිය පාර කතා කරා බුවනෙකබාහු කුමාරයා රජ වෙච්ච හැටි ගැන. අද එතැන් සිට.
බුවනෙකබාහු රජතුමා රජ උනාට පස්සේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන්න ලැබුණා කියලා කිව්වොත් ඒක වැරදියි. ඔහුට සිද්ද වෙනවා එක එක විදියේ සතුරු කරදර වලට මුහුණ දෙන්න. එක පැත්තකින් වන්නි පාලකයින්. තවත් පැත්තකින් උතුරේ ජාවකයින්. ඒ අස්සේ "රායර්" කියලා කාලිංග සෙනෙවියෙකුත් එනවා ආක්‍රමණයකට. කොහොමහරි බුවනෙකබාහු රජතුමා මේවාට සාර්ථකව මුහුණ දෙනවා. ඉතින් මේ හේතු හින්දම බුවනෙකබාහු රජතුමා තීරණය කරනවා අගනුවර දඹදෙණියෙන් යාපහුවට ගෙනියන්න. මතකයිනේ "සුබ" නම් සෙනෙවියා මාඝ ආක්‍රමණ වලින් ආරක්ෂා වෙන්න හදපු බලකොටුව. පර්වතයක් උඩ පිහිටීම නිසා එතන ගොඩක් ආරක්ෂා සහිත ස්ථානයක් බව රජතුමාට වැටහුණා. අන්න එහෙමයි රාජධානිය යාපහුවට මාරු වෙන්නේ.
ඉතින් යාපහුවේ පළමු රජතුමා තමයි බුවනෙකබාහු රජතුමා. එතුමා ඊජිප්තුව සමගත් සබඳතා පැවැත්තුවා කියලා වාර්තා වෙනවා. ක්‍රි. ව. 1283 දී බුවනෙකබාහු රජතුමා මියගියාට පස්සේ දකුණු ඉන්දියාවෙන් එන "ආර්ය චක්‍රවර්ති" යාපහුව ආක්‍රමණය කිරීම නිසා ඉන් පස්සේ එන්නේ අරාජික කාලයක්. මේ ආක්‍රමණ වලට මග පෑදුනේ පරාක්‍රමබාහු කුමරු (විජයබාහු IV රජුගේ පුතණුවන්) සහ බුවනෙකබාහු රජුගේ පුතු අතර සිහසුන සඳහා ඇතිවුණු ගැටුම් හේතුවෙන් බවටත් මතයක් තියනවා. ආර්ය චක්‍රවර්ති දළදාවත් පැහැරගෙන ආපසු ඉන්දියාවට ගිහින් දළදාව භාර දෙනවා කුලසේකර නම් පඬි රජුට. අවසානයේ ඉන්දියාවට ගිහින් දළදාව නැවත වඩමවාගෙන එන්නේ පරාක්‍රමබාහු කුමරු. ඔහු දළදාව ගෙනවිත් පරාක්‍රමබාහු III නමින් රජ වී (ක්‍රි. ව. 1287 - 1293) පොළොන්නරුවේ සිට රට පාලනය කරනවා.
ඔය අතරේ අර බුවනෙකබාහු රජුගේ පුතාත් (ඔහුගේ නමත් බුවනෙකබාහු ම තමා) සිහසුනට ඇහැ ගහගෙන ඉන්න බවට සැක හිතීම නිසා ඔහුගේ ඇස් අන්ධ කිරීමට රජතුමා සැළසුම් කරනවා. මේ බව කනට වැටෙන බුවනෙකබාහු කුමරු වහාම සේනාවක් රැගෙන ගොස් රජු මරා දළදාවත් රැගෙන පලා එනවා. මේ කුමාරයා බුවනෙකබාහු II (ක්‍රි. ව. 1293 - 1302) නමින් රජ වෙනවා. ඔහු රාජධානිය පිහිටුවාගන්නේ කුරුණෑගල. අද අපි පඬුවස් නුවර පැත්තේ ගියාම පේන්න තියෙන්නේ මේ රාජධාණියට අයත් නටබුන් තමයි. ඔහුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් පරාක්‍රමබාහු IV (ක්‍රි. ව. 1302 - 1326). ඔහු ආගමික කටයුතු වලට විශාල අනුග්‍රහයක් දක්වපු රජෙක්. අලුතින් දළදා මාළිගාවක් තනා නියමිත වෙලාවට දළදා පූජා ආදිය පැවැත්වුවා විතරක් නෙමෙයි, ඒවා නොකඩවා කරගෙන යාම සඳහා උදව් වීමට සියලු දළදා පූජා සිරිත් ඇතුලත් "දළදා සිරිත" රචනා කෙරෙව්වා ලු. පන්සිය පනස් ජාතකය සිංහලට නැගුනෙත් මේ කාලයේදී කියලයි සඳහන් වෙන්නේ.
ඉන් පසුව සිහසුනට එන්නේ බුවනෙකබාහු III රජතුමා (ක්‍රි. ව. 1326 - 1332). ඔහු "වන්නි බුවනෙකබාහු" නමින්ද හැඳින්වෙනවා. ඔහු රජ පෙළපතකට සම්බන්ධ නැති නිසාත් වන්නි ප්‍රදේශ වල ජීවත් උන නිසාත් මෙළෙස හැඳින්වුනා වෙන්න පුළුවන්. ඉන් පසුව රජ කම ලබා ගෙන තියෙන්නේ විජයබාහු V රජතුමා (ක්‍රි. ව. 1332 - 1344). ඔහු "රවුලු විජයබාහු" නමින්ද හැඳින්වෙනවා. ඔහු උතුරේ විසූ චන්ද්‍රබානු නම් ජාවක පාලකයාගේ පුතෙක් හැටියටයි සැලකෙන්නේ. උතුරේ ජාවක කොලනියක් තිබූ බව කලින් ලිපි වලදී ඉගන ගත්තා මතක ඇතිනේ :) රවුලු සහ ජාවක යන වචන දෙකේම තියෙන්නේ සමාන තේරුමක් කියලයි කියන්නේ. ආ තවත් දෙයක්...අරාබි සංචාරක "ඉබන් බථූතා" ලංකාවට ඇවිත් තියෙන්නෙත් මේ කාලයේදී තමයි.
මින් පසුව කාලය දෙශාපාලනමය වශයෙන් ටිකක් විතර අස්ථාවර කාලයක්. ජාවක රජුන් දකුණේ බලය අල්ලා ගැනීමට සැරසෙන අතරේ ඉන්දියාවේ ආර්ය චක්‍රවර්තින් නැවතත් උතුරේ බලයට පැමිණෙනවා. ආර්ය චක්‍රවර්ති උතුරේ මුතු කිමිදීමේ යෙදුනා ලු. ඉබන් බථූතා ගේ සටහන් වලට අනුව මේ කාලයේදී ලංකාවේ අලගක්කෝනාර නම් පාලකයෙකුත් ඉඳලා තියනවා. ඔහු බලවත්ව සිටියේ රයිගම ප්‍රදේශයේ. කොහොම නමුත් කුරුණෑගල අවසාන රජතුමා තමයි විජයබාහු V රජතුමා. මේ අස්ථාවරත්වය නිසා හෝ වෙන යම් හේතුවක් මත රාජධානිය ගම්පොළ ට මාරු වෙන්නේ මේ වෙලාවෙදියි. ගම්පොළ පළමු රජතුමා වෙන්නේ විජයබාහු V රජුගේ පුත් බුවනෙකබාහු IV රජතුමා (ක්‍රි. ව. 1344 - 1354). මීට සමගාමීව ඔහුගේ සොහොයුරු පරාක්‍රමබාහු V රජතුමා (ක්‍රි. ව. 1344 - 1359) දැදිගම සිට රජ කරනවා. මලයාලි සම්භවයක් තිබූ අලගක්කෝනාර රයිගම සිට ගම්පොළ ප්‍රදේශයටත් සතුරු තර්ජන එල්ල කළා ලු. රයිගමයයි ගම්පළයයි බුලත් පුවක් එහෙම විකුණුවේ මේ කාලෙදිද දන්නේ නෑ නේද? :)
ඔන්න ඔහොම අස්ථාවර තත්ත්වයක තමයි ඔය කාලේදී මුළු රටම තිබිලා තියෙන්නේ. 1354 දී බුවනෙකබාහු IV රජතුමා මිය යන නිසා නැවතත් ගම්පොළට රජෙක් ලැබෙනවා 1357 දී. ඒ වික්‍රමබාහු III රජතුමා (ක්‍රි. ව. 1357 - 1374). ඔහු පරාක්‍රමබාහු V රජුගේ බෑනා කෙනෙක් හැටියටයි සැලකෙන්නේ. ඔහුගේ රාජ්‍ය කාලය ගැනත් ඉන්පසුව ගම්පොළ තොරතුරු ගැනත් අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.