Tuesday, August 8, 2017

ඉඟුරු මිරිස් ගනුදෙණුව - රාජාවලිය XLIV

ඉතින් අපි අවසානෙට කතා කළේ විමලධර්මසූරිය රජතුමා මිය ගිය හැටිත් එතුමා ගේ බිරිඳ (දෝන කතිරිනා) සහ දරුවන් වගේම උඩරට රාජ්‍යයත් සෙනරත් රජතුමා (ක්‍රි. ව. 1604-1635) ට බාර උනු හැටිත් නේ.

මේ කාලේ වෙද්දී ජෙරනිමෝ ද අසවේදු ට උවමනා වෙලා තිබුනේ කොහොමහරි උඩරට යටත් කරගන්න. ඉතින් නිතරම ඔවුන් ඒකට උත්සාහ කරද්දී සෙනරත් රජතුමාට හිතුණා මොවුන් ගෙන් ගැළවෙන එකම ක්‍රමය ලන්දේසීන් තමයි කියලා. මේ හින්දා මඩකලපුවේ නවතා තිබුණු ලන්දේසි නැවකට පණිවිඩ යවලා දූතයින් කිහිප දෙනෙක් මහනුවරට ගෙන්වාගෙන ගිවිසුමකුත් ඇති කරගන්නවා.

ඔය අතරේ අසවේදු දිගින් දිගටම උඩරට ට පහර දෙන්න තැත් කරන නිසා සෙනරත් රජතුමා ලන්දේසීන් ගෙන් උදව් ඉල්ලනවා. ඔවුන් අතර ගිවිසුමක් තිබුණත් මේ වෙලාවේ උදව්වක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් රජතුමා තීරණය කරනවා පෘතුගීසින් එක්ක මිතුරු වෙන්න. ඉතින් ක්‍රි. ව. 1617 දී මේ විදියට මිතුරු ගිවිසුමක් ඇති කර ගත්තත් ආයෙත් ක්‍රි. ව. 1620 ඉඳන් පෘතුගීසින් උඩරට ට පහර දෙන්න පටන් ගන්නවා.



මේත් එක්කම සෙනරත් රජතුමා ගේ පුද්ගලික ජීවිතේ ගැනත් හොයලා බැලුවොත් රජතුමාගේත් කුසුමාසන දේවියගේත් පුත්‍රයා තමයි මහාස්ථාන (පස්සේ කාලෙක දෙවන රාජසිංහ නමින් රජ වෙන්නේ). ඊට අමතරව විමලධර්මසූරිය රජතුමා ඔහුගේ දරුවනුත් අම්මත් එක්කම සෙනරත් රජුට බාර දුන්න නේ. ඒ දරුවන් තමයි රාජසූරිය, උඩුමලේ අස්ථාන, විජේපාල, කුමාරසිංහ යන කුමාරවරු. මෙයින් උඩුමලේ අස්ථාන කුමාරයා ලෙඩ වෙලා මිය ගියා කියලා කියනවා. රාජසූරිය කුමාරයා සෙනරත් රජතුමා විසින් දියේ ගිල්වලා මැරුවා කියලයි කියන්නේ. මේ ගැන කණගාටුවෙන් කෑම බීම පවා නොගෙන දුක් විඳපු කුසුමාසන දේවිය අවු 35 දී මිය පරලොව ගියාලු.

සෙනරත් රජතුමා ඉතිරි පුතුන් තුන් දෙනා අතරේ රාජධාණිය බෙදුවලු කුසපත් ඇදීමේ ක්‍රමයකට. ක්‍රමේ මොනවා උනත් වැදගත්ම කොටස වෙච්ච සෙන්කඩගල ලැබිලා තියෙන්නේ බාල කුමාරයා මහාස්ථාන ට. විජයපාල ට මාතලේත් කුමාරසිංහට ඌව ප්‍රදේශයත් ලැබුණා ලු. ඒත් මේ වැඩිමහල් කුමාරවරු දෙන්නා පසු කාලෙක මහාස්ථාන ට බයෙන් ගෝව ට පැනලා ගියා කියලා කියනවා. තමන්ගේ මරණින් පස්සේ ක්‍රියාත්මක වෙන විදිහට තමයි මේ බෙදා දීම කරලා තියෙන්නේ.

මේ කාලේ සිද්ධ වෙන තවත් වැදගත් සිද්ධියක් තමයි "අලගියවන්න මුකවෙටි" තුමා කතෝලික ආගම වැළඳ ගැනීම (දොන් ජෙරනිමෝ අලගියවන්න මුකවෙටි). ඔහු පෘතුගීසින් ට ඉඩම් ඔප්පු සකස් කරන්න උදව් උනාලු. මෙතුමා ඉපදුනේ ක්‍රි. ව. 1552 දී ලු. සිංහල සාහිත්‍යය පිරිහිලා තිබිච්ච යුගයක සුභාෂිතය, සැවුල් සංදේශය, කුසදා කව වගේ කෘති රචනා කරලා එහි උන්නතියට ලොකු සේවයක් කළා ලු.

ඉතින් සෙනරත් රජතුමා ට ලොකු හිසරදයක් වෙච්ච පෘතුගීසි ආක්‍රමණ වලදී ඔහු ට හරි හරියට උදව් දුන්නේ මහාස්ථාන එහෙමත් නැත්නම් රාජසිංහ කුමාරයා. මේ සටන් ගැන කියද්දී රන්දෙණිවෙල සටන ගැන නොකියාම බැහැ. මේ වෙද්දී හිටපු පෘතුගීසි ආණ්ඩු කාරයා තමයි "කොන්ස්තන්තීනු ද සා".  ක්‍රි. ව. 1630 දී සිද්ධ වෙච්ච මේ සටනෙන් පෘතුගීසින්ට අන්ත පරාජයක් අත්‍ වෙන්න වර්ෂාවත් බලපාලා තියනවා. ඒ වගේම පෘතුගීසින් යටතේ සේවය කරපු ලස්කිරිඤ්ඤ හමුදාවත් (පෘතුගීසින් යටතේ කුලියට වැඩ කරපු සිංහලුන්) උඩරට රජුට එකතු වෙලා තියනවා. මේ සටනින් කොන්ස්තන්තීනු ද සා මරණයට පත් උනාලු.

ඉතිං මේ විදියේ සටන් සහ අසාර්ථක සාම කතා අතරේ ක්‍රි. ව. 1635 දී සෙනරත් රජතුමා මිය යනවා. ඉන් පසුව සිහසුන හිමි වෙන්නේ ඔහුගේ පුත් මහාස්ථාන හෙවත් රාජසිංහ II රජතුමා (ක්‍රි. ව. 1635 - 1687) ට. 


ඉන් පස්සේ ක්‍රි. ව. 1638 දී තමයි පෘතුගීසින් ආපහු මහා සටනකට අර අඳින්නේ. ඒ තමා ප්‍රසිද්ධ ගන්නොරුව සටන. ඒ දියේගෝ දි මේලෝ නම් පෘතුගීසි ආණ්ඩුකාරයා යටතේ. මේ ආක්‍රමණය වෙලාවේ රාජසිංහ රජතුමා උපක්‍රමශීලී ව පසු බසිනවා ගලේ නුවර ට. මාළිගාව ගිනි තියන පෘතුගීසින් ගන්නොරුව දක්වා යනවා. මෙතැනදී සිංහල හමුදා ඔවුන්ව වට කරනවා. එතන ඇවිලෙන සටනින් අවසානයේ ඉතුරු උනේ පෘතුගීසින් 33 ක් විතර ලු. දි මේලෝ ගේ සිරුර වත් හොයාගන්න බැරි උනාලු. මේ සටනට රාජසිංහ රජුගේ සොයුරු විජයපාලත් සහය දීලා තියනවා.

පෘතුගීසින් සමග කරපු අන්තිම සටන වගේම භයානකම සටනත් ගන්නොරුව සටන කියලා හැඳින්වෙනවා. "පරංගි හටන" පොතේ ඒ ගැන ඡේද 449 ක් ඇතුළත් වෙනවා ලු.

මාර්තු මාසේ ඇති වෙච්ච මේ සටනින් පස්සේ තමයි 1638 මැයි මාසයේ දෙවෙනි රාජසිංහ රජතුමා ලන්දේසීන් සමග ගිවිසුම අත්සන් කරන්නේ. විලියම් ජේකොබ්ස් කොස්තා සහ ඇඩම් වෙස්ටර්වර්ල්ඩ් යන නිලධාරින් දෙදෙනා මේක අත්සන් කරන්නේ පෘතුගීසින් දිවයිනෙන් පළවා හරිනවාට හිලවු වශයෙන් වෙළඳාම තමන් අතට පවරා දීමේ පොරොන්දුව මත.

කිව්වා වගේම ලන්දේසීන් එකින් එක පෘතුගීසි මුර පොළවල් අල්ලා ගනිමින් ඔවුන් දිවයිනෙන් පන්නනවා විතරක් නෙමෙයි, පෘතුගීසින් ට ලංකාවේ තිබුණු තැන ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත පවරා ගන්නවා. ගිවිසුමේ තිබුණු විදිහට ඔවුන් ඒවා රජුට පවරා දෙන්නේ නැහැ. ඒ වගේම රජුත් පොරොන්දු වූ ගාස්තු ඔවුන්ට ගෙවන්නේ නැහැ. අන්තිමේදී පෘතුගීසි හිසරදයෙන් ගැලවුන රාජසිංහ රජතුමාට තවත් ඒ වගේම හිසරදයක් ඇති වෙනවා. මේ සිද්ධිය තමයි "ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ" කියලා ඉතිහාසයේ ප්‍රසිද්ධ උනේ.

දෙවෙනි රාජසිංහ රජතුමා ගේ තවත් තොරතුරු එක්ක උඩරට රාජධානියේ ඉදිරි කාලය ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.

16 comments:

  1. "පරංගි හටන" , පරංගි හබය යනුවෙන් පොත් දෙකක් තිබ්බා. මේ පොත් දෙක ඔබ ලඟ තියනවද ?

    ReplyDelete
    Replies
    1. පරංගි හබය ගැනනම් අහලා නැහැ. පරංගි හටනත් මගේ ළඟ නැහැ. ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට.

      Delete
  2. හෙහ් හෙහ් ඉතිහාසය රිපීට් වෙනවා කියන්නේ පට්ට ඇත්තක් තමා බලන් යනකොට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...මිරිස් දීලා කොච්චි එහෙමත් ගත්තේ

      Delete
  3. "අලගියවන්න මුකවෙටි" තුමා කතෝලික ආගම වැළඳ ගැනීම '

    මම මෙහෙම කතාවක් මීට කලින් අහලා තිබුනේ නෑ . නියම ලිපියක්

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. බොහොම ස්තුතියි

      Delete
  4. කුසපත් ඇදීමෙන් මාතලේ ලැබිච්චි "විජයපාල" මහාස්ථාන හෙවත් දෙවැනි රාජසිංහට බයෙන් ගෝව ට පැනලා ගියේ "ගන්නොරුව සටනට" පස්සේ වෙන්න ඇති එහෙනම්.

    ReplyDelete
    Replies
    1. සාහ් ළමයා හොඳට කියවල තියනවනේ පාඩම. :) ඔව්, මටත් හිතුනා මම ලියපු විදිය පැහැදිලි මදිද කියලත්.

      Delete
  5. බෑ අනේ කියවන්ට...ඉතිහාසෙ තියෙනව නේ... පට්ට අමාරුයි අප්පා..!
    ඕං අහන්න කලින් කියන්නෙ...කාලෙකින් නේ...........!

    ReplyDelete
    Replies
    1. :D වී අයියේ. දැකීමත් සතුටක්. ඔබතුමා තමයි ඉතින් කාලෙකින්. මමනම් එහෙම නෑ :):)

      Delete
  6. අපි දැනුත් කරන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඉඳලා හිටලා කොච්චි එහෙමත් ගන්නවා

      Delete
  7. ගන්නොරුව සටන වෙච්ච තැන දැන් මුකුත්ම හොයාගන්න නෑ.. කවද්ද ඊළඟ කොටස ලියන්නේ??

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ මාසේ විතර දාන්නම්කො අඟහරුවෝ. ඊ ලඟට වෙන මොනවහරි ලිව්වනම් හොඳයි කියල හිතෙනවා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...