"යොසමිටි" කියන නම මුලින්ම ඇහුනහම මට හිතුනේ "ඒක හරිම ලස්සන නමක්" කියන එක විතරයි. ඒ, ඒක හැබැහින් දකින්න කලින්. ඉතිං මේ ලස්සන නමක් තියන ජාතික උද්‍යානය දැක ගැනීමේ වාසනාව අපිටත් ලැබුණා මාස ගණනකට කලින්.
ඒ ගමනට පස්සේ, "යොසමිටි" කියන නම ඇහෙද්දී මට දැනෙන්නේ විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. ඒක වචනෙන් කියන්න අමාරුයි. "මිනිසා" කියන සතා කුහුඹුවෙකුගේ තරමට ඇද දමන සොබා දහම ගැන බිය මුසු ගෞරවයකුත් තවත් මොකක්දෝ සියුම් දුක්මුසු හැඟීමකුත් එතන තියනවා. සමහර විට ලිපිය අවසන් වෙද්දී ඔයාලට තේරෙයි ඒකට හේතුව.
~~~~~~~~~~~~~~~~~
යොසමිටි කියන්නේ හඳ අල්ලපු රටේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ජාතික උද්‍යානයක්. "සියෙරා නෙවාඩා" කියන කඳු පන්තියේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් යොසමිටි වෙත ලඟා වෙන්න අර කඳු පන්තිය තරණය කරන්න ඕනේ. මුලින්ම කියන්න ඕන දෙයක් තියනවා. කවුරු හරි එහෙ යන්න අදහසක් තියනම් මීදුම/හිම සහිත රැයක් නම් තෝරගන්න එපා (අපි කළා වගේ). ඇඟේ ලේ කඳුලක් ඉතිරි වෙන්නේ නෑ යොසමිටි වලට යද්දි. මෙන්න මේ වගේ පටු පාරවල් වල, ගොඩක් තැන්වල ආරක්ෂක බැමිත් නැතිව, එහා පැත්තෙන් අඩි දාස් ගානක පල්ලමකුත් එක්ක කරුවලේ මීදුම අස්සෙන් යනකොට කොහොමද කියල හිතා ගන්නකො.
ඉතින් කොහොමින් කොහොම හරි කරුවලේම යොසමිටිවල නවාතැනට ගියා කියමුකො. පාඩුවක් නැහැ. ඊ ළඟ දවසේ, මිනිසුන්ගේ "පා සටහන් වලින් පමණක්" අපවිත්‍ර වුණු බිම් කඩක්, සොබා දම ඈත කඳු මුදුනක සඟවපු පිවිතුරු වස්තුවක්, එනම් "යොසමිටි නිම්නය" දැක ගන්න අපේ ඇස් පිං කරලා තිබුණා.
මං මුලින්ම කිව්වනේ "යොසමිටි" කියන්නෙ හරි ලස්සන නමක් කියලා. ඒක රතු ඉන්දියානු වචනයක්. ඔන්න ඔතනින් තමයි අර මම කියපු දුක්මුසු හැඟීමට හේතුව එන්නේ. මේ ප්‍රදේශයේ ආදි කාලේ ජීවත් වෙච්ච රතු ඉන්දියානු ගෝත්‍රයේ නම තමයි යොසමිටි කියන්නේ. සුද්දෝ ඔවුන්ව මේ නිම්නයෙන් එළවලා දාද්දි ඒකට යොසමිටි කියලා නම දුන්නලු.
යෝධයින් වගේ අහසට නැගුණු මේ කඳු මුදුන් දකින කොට මට හිතුනෙම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්ම තවමත් මෙහි සැරි සරනවා ඇති. ඔවුන්ගේ සොඳුරු නිජ බිම ආරක්‍ෂා කරනවා ඇති.
රතු ඉන්දියානු නායකයෙකු වූ සියැටල් ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ඔහු එවකට ඇමරිකානු ජනාධිපතිට යැවූ පිළිතුරු ලියුම ගැනත් නොදන්නා කෙනෙක් නැහැ වෙන්න ඕන.
මහ පොළොවෙන් ඉහළට නගින්නා වූ උණුහුමත් , අහස් ගැබත් මිලදී ගන්නේ කෙසේද ?
සුළගේ වූ නැවුම් බවත් ජලයේ වූ දිදුලන කාන්තියත් අපට අයත් නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිල දී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නොමැත.
දේවදාර ගසක දිළිසෙන සෑම කිනිත්තක්ම, වැලි තලාවලින් සපිරුණු සෑම වෙරළක්ම, අඳුරු වන ගැබ තුළ වූ සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගුම් නද නගන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම ද මාගේ මිනිස්සුන්ගේ පූජනීය මතකයන් සහ අත්දැකීම් වෙති.
මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොවේ. අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය යි. මේ ජලය නගන මිමිණුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයා ගේ ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියාදෙනු මැනවි.
ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින මේ පොළොව අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුන්ට වටහා දෙන්න. මේ මහ පොළොව අපේ මවය. මේ මහ පොළොවට සිදු වන්නා වූ සෑම හොඳක්ම හෝ නරකක් ම එහි දරුවන්ට ද උරුම වන්නේය.
අන්තිම රතු මිනිසාත් මේ මහපොළොවෙන් සමුගත් කල ඔහුගේ මතකයන් තණබිම් මතින් හමා යන වළාකුළක සෙවණැල්ලක් මෙන් වනු ඇත.මුහුදු වෙරළ සහ වනාන්තර තවදුරටත් මාගේ මිනිස්සුන් පිළිබඳ මතකයන් දරා ගෙන සිටිනු ඇත.
ඔව් මේ නිම්නය පුරාවටම ඇහෙන්නේ ඒ ආදී වාසීන්ගේ දුක්බර කතන්දරය තමයි. මේ උස් තුරු මුදුන්, ගිරි ශිඛර අතීතයේ සිද්ධ වෙච්ච ඒ අකටයුත්තට සාක්ෂි දරනවා ඇති. ඒත් ඒ අවනඩුව කෙදිනවත් උසාවියකට නෑවිත්ම මේ සොබාදමත් එක්කම මියැදෙනවා ඇති. එතෙක්, අතීතයේ වැළලුනු ඒ මුතුන් මිත්තන් මේ පිවිතුරු භූමිය රැක ගන්නවා ඇති...ඔවුන්ට හැකි තාක් කල්...
ප. ලි. - පොටෝ ටිකේ ක්‍රෙඩිට් එක සයුරු ට දෙන්ට ඕනේ. අපේ පොටෝග්‍රපර් ඉතින් එයා නේ.