මගේ කැම්පස් ජීවිතේ මම හතරවෙනියට හිටපු බෝඩිම හැඳින්නුවේ "වලි බෝඩිම" කියලා. නම වගේ තමයි වැඩත්. ඒක අසූ හාර දාහට වලි යන බෝඩිමක්
මේ බෝඩිමේදි ත් මගේ කාමර සගයා උනේ මෙහෙමත් මුදලාලිලා කතාවේ හිටපු චාරු. තෝරු මෝරුන් ගේ වලි වලට යන්න බැරි නිසා අපි දෙන්නා හාල් මැස්සෝ දෙන්නෙක් වගේ පැත්තකට වෙලා ඔබ්සර්වර් මට්ටමේ තමයි හිටියේ. මොකද මේ බෝඩිමේ වැඩි හරියක්ම හිටියේ රස්සාවල් කරන අක්කලා. කැම්පස් ළමයිට හිටියේ අපි දෙන්නයි, තව යාළුවෙකුයි (ඉෂ්), ඔය මාතෘකාවේ ඉන්න මරුසිරා අක්කයි විතරයි.
මරුසිරා අක්කා ගැන කියනවනම් එයා තනියම කාමරේක බොහොම හයි ලෙවල් එකෙන් තමයි හිටියේ. පොදු භාණ්ඩ පරිහරණයක් ඇත්තෙම නැහැ. එයා වැරදිලා හරි හිනා උනොත් එදාට හම්බන්තොට ට වහිනවලු. බාත් රූම් එකට ගියොත් පැයකින් මෙහා එන්නේ නැහැ. හැබැයි අපේ අනිත් අක්කලා ටික නිකන් ඉන්නෙත් නෑ. එයා එනකන්ම දොරට මල්ටි බැරල් එල්ල කරනවා. ඊට පස්සේ දොර බිත්තියේ හැපෙන්න ඇරගෙන එලියට එන මරුසිරා අක්කා මල්ටි බැරල් වලට වඩා දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරනවා දොර වටේ රැස් වෙලා ඉන්න සභාව ට
මරුසිරා අක්කට යාළුවො නම් හිටියෙම නැති තරම්. අළුතෙන් බෝඩිමට ගියපු මම, චාරු, ඉෂ් ඇරෙන්න අනිත් හැමෝම එයා එක්ක අවුලෙන් හිටියේ. දවසක් මහ රෑ මරුසිරා අක්කා මර බියෙන් කෑ ගහනවා ඇහිලා නිදිමතේ ම මොකද බලන්න ගියෙත් මම විතරයි. හැබැයි ඉතින් ගියපු මෝඩ කම මට තේරුනේ
ඇඳ උඩ නැගගෙන හිටපු මරුසිරා අක්කා, "අනේ නංගි මකුළුවෙක්" කියල කිව්වහම :-|
සිංහල භාෂාවේ ශුද්ධ වචනත් මතක් උනා ඒ වෙලාවෙනම්. (ආ.. ඒවා වැඩි හරියක් ඉගන ගත්තෙත් මේ බෝඩිමේ හිටපු කාලේ තමයි. අක්කලගෙන් නම් නෙමෙයි. එහා ගෙදර අංකල් ගෙන්. ඒවා පසුවට :). ඇයි යකෝ..හොරෙක් වත් පනින්න ඕන එච්චර සද්දෙට කෑ ගහන්න
මේ බෝඩිමේ අමාරුම කාරිය වෙලා තිබුනේ ඉස්සරහ දොරේ යතුර පරිහරණය කිරීම. කවුරු හරි බෝඩිම ඇතුලේ ඉන්නවනම් දොර ඇතුලෙන් යතුරු දාගෙන නේ ඉන්නේ. ඉතින් ඔය අතරේ තව කෙනෙක් ආවොත් ඇතුලේ ඉන්න කෙනා දොර අරින්න ඕන. හැබැයි ඇතුලේ ඉන්න කෙනා මරුසිරා අක්කා උනොත් නම් කොච්චර තඩි බෑවත් දොර නම් ඇරෙන්නෙ නැහැ. එදාට ඉතින් ගිනි වලි. ඕකම අනිත් පැත්තටත් උනා ඉතින්. කට්ටියම එකතු වෙලා මරුසිරා අක්කව එළියේ තියපු වෙලාවල් අනන්තයි. හැබැයි මායි චාරුයි මේ විකාරේ බලන් ඉන්න බැරුව ඩුප්ලිකේට් යතුරු දෙකක් කපා ගත්තට පස්සේ අනිත් අයත් ඒක අනුගමනය කරපු නිසා ඊට පස්සේ යතුරු වලි නැවතිලා ගියා.
කොහොම උනත් මේ බෝඩිමේ තිබුණ අසමගිය නම් අඩු උනේ නෑ. අන්තිමේදී ඔය අසමගිය පුපුරලා ගියේ බෝඩිමේ වැසිකිලියෙන්. කවුරුවත් ඉදිරිපත් උනේ නෑ ඒක සුද්ද පවිත්‍ර කොරන්න. අනිත් අයට බැරිනම් අපි මොකට කරනවද කියල තමයි කවුරුත් හිතුවේ. දැන් ඉතින් එන්න එන්නම ඒකෙ තත්වේ අසාධ්‍ය වෙනවා. පුදුම වැඩේ කියන්නේ අච්චර පොෂ් එකට හිටපු මරුසිරා අක්කත් ගානක් නැතුව ඕක පාවිච්චි කරපු එකනේ.
ඉතින් මේ වැඩේ හරි යන්නේ නැති නිසා කට්ටිය එකතු වෙලා (මරුසිරා හැර) අකාරාදී පිළිවෙලට (නෑ නෑ Aකාරාදී පිළිවෙලට) නම් ලිස්ට් එකක් හදලා ගැහුවා දොරේ. දැන් ඉතින් නම් ලිස්ට් එකේ පිළිවෙලට සතියට සැරයක් පිරිසිදු කිරීම කරන්න ඕන. අනේ අපේ චාරුවා තමයි මුලින්ම ඕකට අහු උනේ. නහයෙන් අඬ අඬ එයා උඩින් පල්ලෙන් වැඩේ කරලා නම ඉස්සරහින් කතිරෙකුත් දාලා ආවා
ආපහු සභාව රැස් වෙලා මරුසිරා අක්කව අල්ලගත්තා.
ඉෂ් : මරුසිරා අක්කේ ඔයා දැක්කේ නැද්ද ලිස්ට් එකේ ඊ ලඟට ඉන්නේ ඔයා කියලා
මරුසිරා : මට වැඩ තිබුණා හරියට...කරන්න උනේ නැහැ..
ඩිල් අක්කා : ආ..එහෙනම් මේ වීක් එන්ඩ් එකේ සෝදලා තියන්න
මරුසිරා : මට කැතයි අනේ
ඊට පස්සේ එතන උද්ගත උන තත්වේ ගැන මම කියන්න ඕන නැහැනේ
ඉතින් ඔයාලා හිතනවා ඇති ඊට පස්සේ බෝඩිමේ වලි නවතින්න ඇති කියලා. හපොයි නැහැ :)