දවසක් මාත් මගේ කැම්පස් මිතුරියකුත් ගල්කිස්ස පැත්තේ පුංචි පහේ සාප්පු සවාරියක් ගියේ සති අන්තය ප්‍රයෝජනවත්ව ගත කරන්න ඕන හින්දයි :) ඉතින් එක්තරා ප්‍රසිද්ධ රෙදි පිළි සාප්පුවක රෙදි තෝරමින් ඉන්න අතරේ මිතුරිය මෙහෙම කියනවා ඇහුනා.
"
අම්මෝ...අර බලන්න අරයගෙ උස..."
මටත් ඉබේටම ඒ පැත්ත බැලුනා. කතාව ඇත්ත තමයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා අඩි දෙකක් විතර උස ගැහැණු කෙනෙක් ඇඳුම් තෝරමින් හිටියා. ඒ තරම් උස කෙනෙක් මම ඒ දැක්කේ මුල් වතාවට. වැඩිය ඒ පැත්ත බලන එක හොඳ දෙයක් නෙමෙයි නිසා ආපහු බලන්න ගියේ නැහැ. ඒ සිද්ධිය එහෙමම අමතක වෙලා ගියා.
තවත් දවසක්...
ඒ 2007 අවුරුද්ද වෙන්න ඕන. අපි කටුබැද්දේ ඉඳලා කොළඹ ට්‍රේනින් ගියපු කාලය. ඔෆිස් ඇරිලා එන වෙලාවට බස් වල තියෙන්නේ පුදුම තදයක්. බම්බලපිටියේ ඉඳලා කටුබැද්දට එනකන් තියන ට්‍රැෆික් එකත් එහෙම තමයි. එහෙම ඔෆිස් ඇරිලා එන වෙලාවක අපි හිටපු බස් එකට නැග්ගා උසම උස ගෑනු කෙනෙක්. මට එතකොටම මතක් උනා මේ අර එදා ඇඳුම් කඩේදී දැක්ක කෙනාමයි කියලා. එදා ඇය ඇඳගෙන හිටියේ ක්‍රීඩා ඇඳුමක් වගේ එකක්. එයා බස් එක ඇතුලේ හිටගෙන හිටියේ හරිම අපහසුවෙන්. ඇයගේ උසට බස් එක නොගැලපුන නිසා. පුළුවන් තරම් කොන්ද නමාගෙන අපහසුවෙන් සෙනග ගොඩේ මිරිකිලා හිටපු ඇය ගාවට ගියපු කොන්දොස්තර, බස් එකේ ඇතුලට යන්න කියලා ඇයට උපදෙස් දෙනවා ඇහුනා.
ඒ සද්දේ අස්සෙන් "
I can't speak Sinhala" (ඒ මට ඇහුන හැටි) කියලා ඇය කියනවා ඇහුනා. කොන්දොස්තර ඇයට නොතේරෙන සිංහලෙන් කියවමින් බස් එකේ "space management" කරද්දී ඇය, කොන්දොස්තරට නොතේරෙන ඉංග්‍රීසියෙන් (ඒ මට හිතුන හැටි) යමක් පැහැදිළි කරන්න උත්සාහ කරා. මේ නිසා එතන ඇති උනේ පුංචි කලබැගෑනියක්. ඒ අතරේ මගීන් ගොඩක් දෙනෙක් "උස කෙල්ල" දිහා තුෂ්නීම්භූත වෙලා වගේ බලාගෙන හිටියා. අන්තිමේදී ඇය කරේ ඊ ළඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම බැහැලා ගියපු එක. ඊට පස්සෙත් කොන්දොස්තර අයියා වටේ පිටේ ඉඳපු කොල්ලෝ ටිකක් එක්ක "ඇගේ උස" ගැන උපහාසයෙන් කතා කළා. ඒ වෙලාවෙත් මට හිතුනේ අසාමාන්‍ය උස නිසා ඇය කොයි තරම් අපහසුවට පත් වෙනවාද, කොයි තරම් මිනිස්සුන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වෙනවාද කියන එක. ඉතින් ඒ සිද්ධියත් ටික දවසකින් අමතක වෙලා ගියා.
ඊට අවුරුදු දෙක තුනකට පස්සේ තමයි මට පත්තරේක ලිපියක් කියවන්න හම්බ උනේ ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ගැන. ඇය "තර්ජිනී සිවලිංගම්". යාපනයේ ඉපිද ක්‍රීඩා පුහුණුවීම් නිසා කොළඹ ආ කෙනෙක්. ඒකෙ තිබුන පින්තූරේ දකිද්දී මේ අර මම බස් එකේදී දැකපු කෙනා නේද කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
"එහෙනම් ඇය ලංකාවට දිනුම් පිට දිනුම් ගෙනෙන නෙට් බෝල් ක්‍රීඩිකාවක්". අද ඇය නිසා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියාවේ අංක එකේ ස්ථානය ලබාගන්න සමත් වෙලා. ඇගේ "ගෝල ගැනීමේ නිරවද්‍යතාවය" 100% ක්. 2009 ආසියානු දැල් පන්දු අවසන් තරඟයේ ගෝල 77 න් 74 ක් ම ලබාගෙන තිබුනේ ඇය යි.
ඒ වෙලාවේදී මට දැනුනේ සතුටක්ද සැහැල්ලුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ දෙකේම මික්ස් එකක්දත් මන්දා. කොහොමහරි මට හිතුනේ එකම එක දෙයයි. ලෝකයාට ප්‍රශ්නයක් වුන, ඔවුන් විසින් උපහාසයට ලක් කළ, ඇයව අපහසුතාවයට පත් කළ "ඇගේ උස" ම ලෝකයා ගෙන් පිදුම් ලබන තත්ත්වයකට ඇයව ගේන්නට හේතු වෙලා තියන හැටි...කොයි තරම් අපූරුද?
ඒ උස නිසා ඇයට කොල්ලන් විහිලු කළ හැටිත් පාසලේදී, පාරේදී අපහසුතාවයටත් උපහාසයටත් ලක් වූ හැටිත් ඇය ලිපියේ කියලා තිබුණා. මමත් එවැනි සිද්ධියක් ඇස් දෙකෙන්ම දැක තිබුන නිසා ඇය ඒ නිසා විඳින්නට ඇති මානසික පීඩාව කොයි තරම්ද කියලා හිතාගන්න පුළුවන් උනා. ඒත් "තර්ජිනී" අද ලංකාවටම ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි, ලෝකයාගේ උපහාසයට ලක් වෙමින්, ඒ උපහාසයට හේතු වූ කරුණම තමන්ගේත් රටේත් යහපත උදෙසා යොදා ගැනීමට කටයුතු කළ ඇය, මනුෂ්‍ය සංහතියටම ආදර්ශයක් නොවේද?