Friday, April 19, 2013

වසන්තේ අරන් ඇවිල්ලා...

මතකනේ මම මීට සෘතු දෙකකට කලින් ලියපු සරත් සිරිය ලිපිය. (ඒකෙදි තමයි තිසර යෝජනාවක් ගෙනාවේ මේ සෘතු වලට හරිනම් දාන්න ඕන පිරිමි නම් නෙමෙයි ගෑණු නම් කියලා. හේතුව හැටියට කිව්වේ ඉක්මනින් වෙනස් වෙන ලක්ෂණයක්ද මොකක්ද එකක් ගෑනුන්ට තියනවලු. අනේ මන්දා ඕවා ඉතින් :O කොහොම හරි සරත් සෘතුවට චමිලා සෘතුව කියලා නමකුත් දාලා තිබුනා). ඉතින් ඔය සෘතු භේදය ඇති වෙන හැටිත් මම ඒ ලිපියෙදි විස්තර කරලා ඇති. ඒ හින්දා ආපහු කියන්න ඕන නෑ නේ.

ඉතින් සරත් සෘතුව හිමින් සැරේ ගෙවිලා ගිහිල්ලා ගස් වල තියන ඔක්කොම කොළ හලලා දැම්මනේ. ඊට පස්සේ ඔන්න පටන් ගත්තා හිම වැටෙන්න. ඒ ගැනත් මම පින්තුර කතාවක් ලිව්වා සීතල හිම රටේ කියලා. මේ පාර සිසිර සෘතුව ඕනවට වඩා දික්ගැස්සුනා කියලා මටනම් ෂුවර්. මාර්තු මාසේ වෙනකනුත් හිම වැටුනා මදි නොකියන්නම. කොහොම හරි ඔන්න අප්‍රේල් මැද හරිය වෙද්දී අපි ඇස් දල්වා බලාගෙන හිටපු ලස්සන, මෘදු,සෙනෙහෙබර, වසන්තේ එන ලකුණු පෙනුනා batting eyelashes.

පින්තූර කතාව මෙතැන් සිට...

පොළව වහගෙන හිටපු හිම තට්ටුව දිය වෙලා ඒ වතුර ටික උරාගෙන පොළව තෙතබරිත උනාට පස්සේ මුලින්ම ඔලුව උස්සන්නේ ටියුලිප් සහ ඩැෆඩිල් නටු. පොළවේ වැලලිලා තිබිච්ච බල්බ පණ ගහලා ඇවිත් සති දෙකෙන් තුනෙන් ලොකු වෙලා මල් පිපෙන්න ගන්නවා.

ඔය තියෙන්නේ පුංචි ටියුලිප් යායක්. යායක් කිව්වට යාය කෑල්ලක්...



ආ එතකොට මේ තියෙන්නේ  ඩැෆඩිල්. බලන්නකෝ හිත හොරාගෙන යන්න පුළුවන් ගතියක් එහෙම තියද කියලා?



මේ අතරේ තවත් ලස්සන සංසිද්ධියක් වෙනවා. අර කොළ හැලිලා නාටු වෙලා තියන ගස් තියනවා නේද, ආන්න ඒවා අතුරු සිදුරු නැතිව මල්වලින් වැහිලා යනවා. හැබැයි කොළ නෑ. කොළ එන්නේ පස්සේ. වැඩි හරියක්ම රෝස සහ සුදු මල් තමයි පිපෙන්නේ.

මෙන්න මේ වගේ...




දැන් ඔහොම තව දවස් දෙක තුනක් යනකොට අර මල් පිපිච්ච ගස්වල කොළ එන්න පටන් ගන්නවා. එහෙම කොළ එද්දී අර මල් හැලිලා යනවා ඉබේම.

මේ ගහ බලන්නකෝ. කොළ එන්න පටන් අරගෙන. තව ටික දවසෙන් මේ මල් හැලිලා ගහ තනිකර ලා කොළ පාට වෙනවා.



ගස්වල මල් හැලිලා ගියාට පස්සේ ඉතිරි වෙන්නේ අමුතුම ලා කොළ පාටක්. වසන්තෙට අලුතෙන් ආපු දළු නේ. මේවා ඉතින් ඊ ළඟ සරත් සෘතුව වෙනකම්ම ගහත් එක්ක ඉන්නවා. ආ ඒ විතරක් නෙමෙයි මැරිලා ගිහින් හිටපු තණකොළ පිට්ටනිත්  ආපහු කොළ පාටට දිලිසෙන්න ගන්නවා.




දැන් තමා වැදගත්ම එක. මගේ ටියුලිප් වගාව :) ගිය සරත් සෘතුවේ සීතල බලන්නේ නැතුව, අමාරුවෙන් වෙලාව හදාගෙන, අපේ පුංචි මිදුල් කෑල්ලේ ටියුලිප් බල්බ හිටවපුවගේ ප්‍රතිඵල...




නරකම නෑ නේද?

Thursday, April 11, 2013

ජාතියේ පිනට උපන් විජයබා - රාජාවලිය XXVIII

අපි ගිය පාර රාජාවලිය ලිපියෙන් අනුරාධපුර යුගයේ අවසානෙටම ආවනේ. අද ඉඳන් එහෙනම් අලුත් යුගයක්. පොළොන්නරු රාජධානියේ ඇරඹුම...
අනුරාධපුර රාජධානියේ අවසානය සිද්ධ උනේ ඉතාමත් ශෝචනීය විදියට බව කට්ටිය කලින් ලිපියේ දකින්න ඇති. පස්වන මිහිඳු රජතුමා සිරකරුවෙක් විදිහට චෝල දේශයට අල්ලාගෙන ගියා. අපේ දිවයින චෝල පාලනයට නතු උනා. දිවයින කිව්වට මුළු දිවයිනම නෙමෙයි. කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් චෝල පාලනයට එරෙහිව ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරා. රුහුණට ඇතුළු වීමට උත්සාහ කළ චෝලයින්ට දේශ සිමාවේ සිට ඔවුන් පසු බසින තුරු පහර දුන්නා. චෝලයින්ට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරමින් බදු එකතු කිරීමට පැමිණි සිංහල නිලධාරීන්ට අවඥාවෙන් සළකපු රුහුණු ජනතාව එයින් නොනැවතී තවත් මහඟු කාර්යයක් රහසේම කරගෙන යමින් සිටියා. ඒ, තවමත් ළමා වියේ පසු වූ පස්වන මිහිඳු රජුගේ පුත්‍රයා ආරක්ෂා කර ගැනීම.

තමන්ගේම රජෙකුගේ අවශ්‍යතාවය දුටු ඔවුන් මේ කුමාරයාව රජ කමට පත් කරනවා. ඔහු රජ වෙන්නේ "වික්‍රම බාහු" නමින්. මේ පුවත අසා කුපිත වෙන චෝලයින් රුහුණට කඩා වැදී ගම් දනව් වනසද්දී සිංහලයින් ඊට එරෙහිව සටන් අරඹනවා. "කීර්තී" සහ "බුද්ධ" නම් සෙන්පතියන් දෙදෙනෙකු අතින් මෙහෙයවෙන සිංහල හමුදාවට  නිර්භීතව සටන ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. යුධමය අතින් රුහුණ ශක්තිමත් වන ආකාරය දුටු චෝලයින් තවත් චෝල හමුදා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා.

රුහුණ ශක්තිමත් වීමෙන් ඇතිවෙන නරක ප්‍රතිඵලයක් තමයි ප්‍රාදේශීය නායකයින් බිහි වීම. ඔවුන් එකිනෙකා පරයා බලය ලබා ගැනීමට තැත් කළ නිසා රුහුණේ ඇති වෙන්නේ අස්ථාවර තත්වයක්. ඒ නිසා චෝලයින් නැවතත් රුහුණට පහර දීමට එය අවස්ථාවක් කර ගන්නවා. මේ චෝල සේනාවට මුහුණ දීමට වික්‍රමබාහු රජු සේනා සංවිධානය කළත් පහර දීමට පෙරම අසනීපයක් හේතුවෙන් ඔහු මිය යනවා.  මේ කාලයේදීම  චෝල දේශයේ සිරකරුවෙකුව සිටි මිහිඳු රජතුමාත් එහිදීම මිය යනවා.

වික්‍රමබාහු ගේ මරණින් පස්සේ කිර්ති සෙනෙවියා පාලන කටයුතු භාර ගත්තත් ඔහුට දවස් 8 කට වඩා ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ "මහාලන කීර්ති" නම් තවත් සෙනෙවියෙක් ඔහු මරා බලය ලබා ගන්නා නිසා. මහාලාන කිර්ති නිර්භීත වගේම රණකාමී පාලකයෙක් උනා. චෝලයින්ගෙන් නැවතත් ඇති වුනු ප්‍රහාර හමුවේ ඉතා නිර්භීතව සටන් කොට, එයින් පරාජය අත් වන බව දැක, සිය දිවි හානි කර ගන්නවා. ඔහුගෙන් පසුව බලයට එන්නේ "වික්‍රම පණ්ඩු" නම් කුමාරයා. ඔහු මහාලාන කිර්තිගේ පුතෙක් බවටත් පිළිගැනීමක් තියනවා. කොහොම උනත් මේ කුමරුවා නිසා චෝලයින්ගේ හිරිහැරයට ලක් වෙමින් තිබුණු රුහුණ නැවතත් සංවිධානය වී සාමාන්‍ය තත්ත්වයට පැමිණෙනවා.

ඔය අතරෙදි ඔවුන්ට නැවතත් සතුරු කරදරයක් එල්ල වෙනවා. ඒ චෝලයින්ගෙන් නෙමෙයි, අයෝධ්‍යාවෙන්. අයෝධ්‍යා සේනාවේ නායක "ජගතිපාල" අතින් මරණයට පත් වීමට වික්‍රම පණ්ඩු ට සිද්ධ වෙනවා. සිංහල ජනතාවගේ අකමැත්ත නොතකා ජගතිපාල දකුණේ පාලන කටයුතු අතට අරගෙන එය හොඳින් කරගෙන යාමට උත්සාහ කරන අතරේ චෝලයින් ජගතිපාල එලවා ගැනීමට මාන බලනවා. ඒ නිසා නැවතත් ප්‍රහාරයක් දියත් කරන චෝලයින් ජගතිපාලව පරාජය කිරීමට සමත් වෙනවා. ඉන්පස්සේ වික්‍රමපණ්ඩු ගේ පුත්‍රයා "පරාක්‍රම පණ්ඩු" පාලනය අතට ගත්තත් ඔහුත් අවු. 2 කට පස්සේ චෝලයින්ගෙන් මැරුම් කනවා.

ඔහොම කාලය ගත වෙද්දි මිනිස්සු අතර කසුකුසුවක් පැතිරෙනවා රාජ පරම්පරාවට සෘජුවම සම්බන්ධ කමක් ඇති කුමාරයෙක් ගැන. ඒ තමයි "කීර්ති" කුමාරයා. ඔහු පස්වන මිහිඳු රජුගේ මාමා කෙනෙකුගෙන් පැවතෙන අයෙක්. මේ කුමාරයා කුඩා කල පටන්ම පැරණි රජවරුන්ගේ වීර කතා තම මවගෙන් අසා ගැනීමට ඇලුම් කළා වගේම තමන්ගේ රට පරදේසක්කාරයින් අතින් පාලනය වීම ගැන බලවත් අකමැත්තකින් පසු වුනා. තමාට අවුරුදු 15 වන විට මලය රටට ගොස් සේනා සංවිධානය කිරීම ආරම්භ කළ කීර්ති කුමාරයා සෙබළුන්ට මනා පුහුණුවක් ලබා දීමටත් කටයුතු කළා.

මේ අතර "ලෝකේශ්වර" නම් නිර්භීත, තද ගතිගුණ ඇති සෙනෙවියෙක් කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියා. චෝලයින් පවා ඔහුට එරෙහි වීමට බිය වූ නිසා ඔහු මිය යන තුරුම චෝලයින්ගෙන් හිරිහැර එල්ල උනේ නැහැ. මේ ලෝකේශ්වරගේ බොහොම කුළුපග ඇමතියෙක් තමයි බුද්ධරාජ ඇමති. ලෝකේශ්වර සමග ඇති වුන අමනාප කමක් නිසා සියලු තනතුරු අතහැර පලා යන බුද්ධරාජ ඇමැතිත් මලය රටට ගොස් කීර්ති කුමාරයාට එකතු වෙනවා. මේ බුද්ධරාජ ඇමති වගේම කිර්ති කුමාරයාට බොහොම උදව් කළ තවත් කෙනෙක් තමයි දේවමල්ල ඇමති. කිර්ති කුමාරයා සේනාවෙන් සහ බලයෙන් පොහොසත් වන හැටි බලා සිටිමටම අපහසු වූ ලෝකේශ්වර කුමරු සමග සටනට එන්නේ මේ අතරවාරයේ දී. වතාවක් නොවෙයි දෙවතාවක්ම සටන් මෙහෙයෙව්වත් ලෝකෙශ්වරට අයිති වෙන්නේ පරාජයක්. ඒ වගේම මලය රටේ පාලනය සම්පුර්ණයෙන්ම කිර්ති කුමාරයාට නතු වෙනවා.

කීර්ති කුමාරයාගේ මීළඟ ඉලක්කය උනේ රුහුණ සහ මලය රට එක්සේසත් කිරීම. චෝලයින් එළවීමට පෙර රටේ අනෙක් ප්‍රදේශ එකට එකතු විය යුතු බව ඔහුට වැටහුනා. ඒ  විතරක් නෙමෙයි, කුමරුගේ ඉලක්කය රුහුණ බව ලොකේශ්වරටත් වැටහුණා. ඉතින් ඔහු කරන්නේ නැවතත් කුමරු සමග සටනට යාම. ගම් බිම් විනාශ කරමින් සටනට පැමිණි ලෝකේශ්වරගේ ක්‍රියාකලාපය ගැන බෙහෙවින් උරණ වූ කීර්ති කුමරු ඉතාමත් දරුණු සටනකින් අනතුරුව නැවතත් ලෝකේශ්වර පරාජය කරනවා. මේ පරාජය නිසා සිත් තැවුලෙන් නැවතත් කතරගමට ගිය ලෝකේශ්වර ක්‍රි. ව. 1054 දී අසනීප වී මිය යනවා.

ඔහුගෙන් පසුව එහි පාලනය බලය ලබා ගන්නේ "කේසධාන කාශ්‍යප" නම් අයෙක්. ඔහු ලෝකේශ්වර තරම්ම තද පාලකයෙක් නොවුනත් එතරම්ම ජන ප්‍රසාදයට ලක් වූ පාලකයෙකුත් නෙවෙයි. ඔහුගේ අභිලාශය වුනෙත් චෝලයින් පලවා හැරීම. ඔය අතරේ චෝලයින්ගෙන් රුහුණට එල්ල වෙන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීම නිසා ඔහුට යම් ජනතා ප්‍රසාදයකුත් ලැබෙනවා. ඒත් කීර්ති කුමාරයාගේ අරමුණට මේක බාධාවක්. රුහුණ යටත් කරගැනීම හැර වෙන මගක් නැති බව දකින ඔහු සේනාවත් සමග රුහුණ යටත් කර ගැනීමට පැමිණෙනවා.

කුමාරයාගේ එක ප්‍රතිපත්තියක් උනේ සටන් වලදී සාමාන්‍ය ජනයාට සහ දේපල වලට වන හානිය හැකි තරම් අවම කිරීම. මේ ආකාරයට රුහුණට ඇතුල් වෙන කුමාරයාට රුහුණු ජනයාගේ සහය නොමදව ලැබෙනවා. රජ කමට නිත්‍යානුකුල අයිතියක් තිබූ කීර්ති කුමරුට ඔවුන් වඩා කැමති උනා. ඒ වගේම මිනිසුන් ආකර්ෂණය වන ආකාරයේ හොඳ ගති ගුණත් ඔහුට තිබුණා. මේ නිසා බයට පත්වෙන කේසධාන, උපක්‍රමශීලිව කතරගමින් පහු බැහැලා පසුව එක්වරම ප්‍රහාරයක් එල්ල කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමරු අතින් කේසධාන මරණයට පත් වීම. මේ සමගම රුහුණේ පාලනයත් කීර්ති කුමරු යටතට එනවා. පසුව කුමාරයා හැඳින්වෙන්නේ "විජයබාහු" නමින්.

මේ සිද්ධි දැනගත් චෝලයින් නැවතත් සන්ත්‍රාසයට පත් වී රුහුණට ශක්තිමත් සේනාවක් එවනවා. තමන්ට එකවරම චෝලයින් පැරදවිය නොහැකි බව දුටු විජයබාහු, නුවණැති තීරණයක් ගන්නවා තාවකාලිකව මලය රටට පසු බැසීමට. ඒ වගේම චෝලයින් පලවා හැරීම සඳහා විදේශ ආධාර ලබා ගැනීම සඳහා බුරුමයේ අනවරත රජු වෙතට දූතයින් යවනවා. සාර්ථක දූත ගමනකින් පසු එරටින් සේනාවක් වගේම සෙබළුන්ගේ වියදමට වස්තුවත් ලැබෙනවා.

එයින් පස්සේ තමයි චෝල දේශයන් විශාල සේනාවක් ලංකාවට එවන්නේ. ලංකාවට ගොඩ බසින ඔවුන් පොලොන්නරුව දක්වා යන ගමනේදී මිනිසුන්, දේපල විනාශ කරමින් හැසිරෙන්නේ ඉතා තුච්ඡ විදියට. රජරට අනෙක් චෝලයින් සමග එක්වන ඔවුන්ගේ මී ළඟ අභිප්‍රාය වන්නේ රුහුණ ආක්‍රමණය. මේ අතරේ විජයබාහු රජතුමා ළඟ සිටි රවී සහ චාලා සෙන්පතියන් දෙදෙනෙක් රජුට ද්‍රෝහී වී චෝලයින්ට එක් වෙනවා. ඔවුන්ගේ උදව් ඇතිව  චෝලයින් රුහුණට කඩා වැදී රුහුණ විනාශ කරනවා. එහෙත් මලය දේශයේ සිටි විජයබාහු රජු අල්ලාගැනීමට හැකි වන්නේ නැහැ. විජයබාහු රජු පාලටුපහන නම් ස්ථානයේ කඳවුරු ගසාගෙන සිටින බව සැල වී ද්‍රෝහී සෙන්පතියන් විසින් එය චෝලයින්ට දැනුම් දෙනවා. එය ඇසූ චෝලයින් වහාම පලටුපහන බලා පිටත් වෙනවා.

එහිදී ඇවිලෙන්නේ ඉතාමත් දරුණු සටනක්. සිංහයින් මෙන් නිර්භීතව සටන් කරන සිංහල හමුදාව අවසානයේ ජයග්‍රහණය කරා ලඟා වෙද්දී චෝල ප්‍රධාන සෙන්පතියා පලා යනවා. එහෙත් ඔහු පසු පස හඹා යන හමුදාව ඔහුව මරණයට පත් කරනවා. ජයග්‍රහණයෙන් උදම් වෙන රුහුණු සහ මලය වැසියන් උත්සව පවත්වා ජයග්‍රහණය සමරන අතරේ පොළොන්නරුවේ චෝලයින් ඉතාමත් සිත් තැවුලෙන් පසු වෙනවා. සිංහල හමුදාව වැඩි කල් නොයවාම ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වන පොලොන්නරුව වෙත ගමනාරම්භ කරද්දී චෝලයින්ට අත් වූ පරාජය ගැන උදහස් වූ චෝල අධිරාජයා තවත් චෝල සේනාවක් ලංකාවට එවනවා. විජයබාහු රජු ඇතුළු හමුදාව පොළොන්නරුවට ලඟා වෙද්දී තමයි ඔවුන්ට සැල වෙන්නේ මාන්තොටින් තවත් චෝල හමුදාවක් ගොඩබසින බව. එනිසා ඔවුන් හා සටනට සේනාවෙන් කොටසක් යවා ඉතිරිය පොළොන්නරුවට පහර දීම සඳහා රඳවා ගැනීමට රජු තීරණය කරනවා.

මාන්තොට බලාගිය සේනාව චෝලයින් හමුවී කළ දරුණු සටනකින් පරාජයට පත් වෙන අතර මෙය ඇසූ රජු ඇතුළු සේනාව දකුණට පසුබැස කඳවුරු ගසා ගන්නවා. තමන් ඇල්ලීමට චෝලයින් එන බව ඇසූ රජතුමා, වටගිරි පර්වතයේ බලකොටුවක් සාදාගෙන එහි කඳවුරු බඳිනවා. මේ පර්වතය වට කරන චෝලයින් මාස 3 ක පමණ කාලයක් සටන් වැදුනත් ඔවුන්ට මුදුනට ලඟා වීමට හැකි වන්නේ නැහැ. ගල් පෙරලීම ආදී උගුල්වලින් චෝලයින්ට උපරිම හානි අත්කර දීමට සිංහලයින් සමත් වෙනවා. කොහොම උනත් විජයබාහු රජතුමාට කරදරවලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. රජු අතින් කතරගමදී මැරුම් කෑ කේසධාන ගේ සොහොයුරා රජුට විරුද්ධව දකුණේ කැරලි ඇති කරන්නේ මේ අතරේදී. ඔහුට පහර දී ඒ කැරලි මැඩපැවැත්වීමට රජු සමත් වෙන අතර කෙසධාන ගේ සොහොයුරා පලාගොස් සොළින්ට එකතු වෙනවා.

ඉන්පසුව විජයබාහු රජතුමා වලවේ ගඟ ඉහත්තාවේ සිට අවසාන සටනට සේනා සංවිධානය කිරීම අරඹනවා. මේ කාලයේ තමයි චෝල අධිරාජයා වන රාජ රාජ රජු මිය යන්නේ. ඒ සමගම චෝල අධිරාජ්‍යයේ අනික් යටත් රටවලුත් නිදහස් වීමේ අරගල ආරම්භ කළ නිසා එය චෝලයින්ට කිසිසේත්ම හොඳ කාලයක් උනේ නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ රජතුමා වහාම තුන් පැත්තකින් පොළොන්නරුවට පහර දීම අරඹනවා. ගමෙන් ගම දිනා ගනිමින් ඒ ගම් වැසියන්ට හැකි තරම් කරුණාවන්ත වෙමිනි ඔවුහු රජරට බලා ගමන් කරනවා. කිහිප දිශාවකින් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබසින චෝලයින් ඔවුන්ගේ කඳවුරට වැදී ආරක්ෂාව තර කර ගන්නා අතර සිංහල හමුදාව මාස 3 කට අධික කාලයක් කඳවුර බිඳීමට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී "රවිදේව" නම් නිර්භීත සෙනෙවියෙක් ඉදිරිපත් වී තවත් කිහිප දෙනෙක් සමග කඳවුරු බැම්මෙන් ඇතුලට පැන එහි ආරක්ෂකයින් මරා දමා දොරටු විවර කරනවා. එහිදී ඇතිවන අවසාන සටනෙන්, 50 වසරකට අධික කාලයක් ලංකාවේ බලපැවැත්වූ චෝල පාලනය නිමාවට පත් වෙනවා.

ඒ වන විට වැනසී තිබුණු රජරට ප්‍රතිසංස්කරණය කිරීම අරඹන රජතුමාට තවත් සතුරු කරදර වලට මුහුණ පෑමට සිද්ධ වෙන්නේ චෝලයින්ට පක්ෂව සිටි සිංහල නිලධාරීන්ගෙන්. ඒත් වෙහෙර ගිලපු රජතුමාට අග්ගලත් කජ්ජක්ද? ඒවාත් සාර්ථකව මැඩපැවැත්වීමට ඔහුට හැකි වෙනවා.

ඔන්න ඔය ආකාරයට තමයි මහා විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1070 - 1111) අපේ රට එක්සේසත් කලේ.

ක්‍රි. ව. 1017 දී පාලනය චෝලයින් අතට ගිය තැන් පටන් රට පාලනය කළ චෝල රජවරු -

රාජේන්ද්‍ර චෝල I (ක්‍රි. ව. 1017 - 1044)
රාජාධිරාජ චෝල (ක්‍රි. ව. 1018 - 1054)
රාජේන්ද්‍ර චෝල II (ක්‍රි. ව. 1051 - 1063)
විරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
අතිරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)

ප. ලි.

දවස් ගානක් ටයිප් කරපු ටික මැකිලා මුල ඉඳන් ලියන්න උනා. ලිපිය පොඩ්ඩක් අංජබජල්ද මන්දා. මීට වඩා කොට කරන්නනම් බැරි උනා.  මේ ලිපියත් සම්පූර්ණ එකක් නෙමේ. විජයබාහු රජතුමා ගැන එච්චරට විස්තර තියනවනේ :)
Related Posts Plugin for WordPress, Blogger...