හුඟ කාලෙකින් කවියක් ලියන්නත් බැරි උන නිසා අද මට හිතුනා කවි ගැන ලිපියක් ලියන්න. කවි, හරියටම කිව්වොත් සඳැස්, ගැන කතා කරද්දී නිතරම ඇහෙන වචන දෙකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ.
මට ඉස්සර ඉඳලම තිබුණු ප්‍රශ්නයක් තමයි මේ
ඡන්දස සහ
විරිත කියන්නේ මොනවද කියන එක. එහෙන් මෙහෙන් කවි ලිව්වට මම නම් මේවයේ තේරුමක් හරියටම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න. අන්තර්ජාලයෙනුත් අපේ මාමණ්ඩියගෙනුත් තාත්තාගෙනුත් තරමක් කරුණු එකතු කරගෙන ඒවා අධ්‍යයනය කරාට පස්සේ මට පුළුවන් උනා සෑහෙන තරමකට හොඳ, පිළිගන්න පුළුවන් කියලා හිතෙන නිගමනයකට එන්න. ඉතින් ඒ ගැන දැනගන්න ඔයාලත් කැමතිනම් මාත් එක්ක පාඩමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා :)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මුලින්ම කියන්න ඕන මම කියන දේවල් වල වැරදි තැන් තියෙන්නත් පුළුවන්. ඒවා කාටහරි පෙනුනොත් නිවැරදි කරන්න කියලත් ඉල්ලනවා.
හරි. මුලින්ම මොකක්ද මේ "ඡන්දස" කියන්නේ? සරලව කිවුවොත් ඡන්දස කියන්නේ පද්‍යයක/සඳැස ක "ආකෘතිය" ට. එහෙම නැත්නම් "සැකිල්ල" ට. උදාහරණයක් විදියට වෙසක් කූඩුවක් ගැන හිතන්න. මුලින්ම අපි කරන්නේ සැකිල්ල හදන එක. කවියක් (පහසුව පිණිස සඳැස වෙනුවට කවිය යන වචනය ඉදිරියට භාවිතා කරමි. එය වැරදි බව මම දනිමි :) හදනකොට ත් අපි සැකිල්ලක් හදා ගන්නවා. කවියේ පද වලට කොච්චර මාත්‍රා ගණනක් දානවද? කොච්චර අකුරු ගණනක් දානවද? කියන දේවල් තීරණය කරාම තමයි සැකිල්ල සම්පුර්ණ වෙන්නේ. සැකිල්ල හදා ගත්තට පස්සේ එයට වචන, එලි වැට, එලි සමය, යතිය ආදිය එකතු කරාම සම්, මස්, නහර පිරි ජීවමාන සඳැස ක් බිහි වෙනවා.
ඉතින් මෙන්න මේ සැකිලි වලට තමයි ඡන්දස කියන්නේ. එතකොට "
විරිත" ?
කලින් කියපු ඡන්දස නම් සැකිල්ලට එලි වැට, යතිය සහ වචන නම් සම්, මස් එකතු කර බිහි වන කවියේ, "තාලය / ලතාව" අනුව ඒවා වර්ගීකරණය කරන්න පුළුවන් (එකම ඡන්දසයෙන් බිහි උනත් යතිය යොදන ස්ථාන සහ ලඝු, ගුරු අක්‍ෂර පිහිටවන පිළිවෙල අනුව කවියක ලතාව වෙනස් වෙනවා. හරියට එකම විදියේ සම්, මස්, ඇට තිබුනත් මිනිසුන්ගේ ගතිගුණ එකිනෙකට වෙනස් වෙනවා වගේ). අන්න ඒ කියපු වෙනස් විදියේ තාල/ලතා වලට තමයි විරිත කියන්නේ. ලිපියේ ඉදිරියේදී මේක තවත් හොඳින් උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිළි කරලා තියනවා.
හරි, නැවතත් ඡන්දස ට. ඡන්දස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. "
ලෞකික ඡන්දස" සහ "වෛයිදික ඡන්දස" ලෙස. වෛයිදික ඡන්දස අදාළ වෙන්නේ "වේද මන්ත්‍ර බන්ධනය" ට. ඒ නිසා අපි මේ ලිපියෙදි ඒ ගැන කතා කරන්නේ නැහැ. කාව්‍යය බන්ධනය ට අදාළ වෙන ලෞකික ඡන්දස ගැන තමයි අපි කතා කරන්නේ.
ලෞකික ඡන්දසය ත් කොටස් දෙකකට බෙදෙනවා. "ඝන/වර්ණ ඡන්දස" සහ "මාත්‍රා ඡන්දස" ලෙස. මෙයිනුත් සිංහල කවිය සමග වඩාත්ම සම්බන්ධ වෙන්නේ මාත්‍රා ඡන්දස. වර්ණ ඡන්දස ගොඩක් දුරට භාවිතා වෙන්නේ සංස්කෘත කාව්‍ය වල දී. ඒත් වර්ණ ඡන්දස ගැනත් මම පසුව කියන්නම්. මුලින්ම මාත්‍රා ඡන්දස ගැන බලමු.
~~~~~~~~~~ මාත්‍රා ඡන්දස ~~~~~~~~~
මෙහිදී කරන්නේ කවියක සැකිල්ල, කවියේ පද වලට යොදන මාත්‍රා ගණන අනුව තීරණය කිරීම. උදාහරණයක් විදියට කවි පදයකට මාත්‍රා 2 ක් පමණක් යොදන ක්‍රමය ට කියන්නේ "
සඳ ඡන්දස" කියලා.
ඒ -
වී -
පේ -
වී -
මේ කවියේ පද හතරේ තියෙන්නේ ගුරු අකුරු (ගුරු අකුරකට මාත්‍රා 2 යි) 4 ක්. '-' භාවිතා කලේ අකුර ඇදෙන බව පෙන්වන්න. මේ කවිය අයිති වෙන්නේ "සඳ" ඡන්දස ට කියලා පැහැදිළියි නේද? ඒ වගේම මේක අයිති වෙන විරිත තමයි "
සිරි විරිත". මාත්‍රා 2 පෙන්වන්න ගුරු අක්‍ෂරයක් යොදා ගත් නිසා තමයි එය සිරි විරිත ට අයිති වෙන්නේ. මේ කවියත් බලන්න...
කමු
බොමු
තුටු
වෙමු
මේකෙත් එක පදයක තියෙන්නේ මාත්‍රා 2 යි. ඒ නිසා "සඳ" ඡන්දස ට අයිති විය යුතුයි. හැබැයි මාත්‍රා දෙක පෙන්වලා තියෙන්නේ ලඝු අකුරු දෙකකින්. එනිසා මේක "සිරි" විරිත ට අයිති නැහැ. මෙය අයිති වෙන්නේ "
ස්ත්‍රී විරිත" ට.
මේ කියපු උදාහරණයේදී විරිත් වර්ග උනේ ලඝු, ගුරු අක්‍ෂර පිහිටීම අනුව. අපි තවත් උදාහරණයක් බලමු.
විදි විහිගුම් සමුදුර වෙරළත හමුව
සුරපුර බිම බට මෙන් වඩවන ළමුව
සැදි පලරම් විසිතුරු ගෙඋයන් සුමුව
දකු මනරම් සව් සිරි පිරි තොට ගමුව - තොටගමු වැනුම, සැළලිහිණි සංදේශය
මේ කවියේ මුල් පදය ගමු
වි දි වි | හි ගුම් _ | ස මු දු | ර වෙ ර | ළ ත හ | මු ව _
මෙහි මාත්‍රා 18 යි. (අදාළ ඡන්දසයේ නම නොදනිමි. X ඡන්දසය යයි කියමු). ඒ වගේම මෙය අයිති වෙන්නේ "
සමුද්‍ර ඝෝෂ විරිත" ට. දැන් අපි බලමු සමුද්‍ර ඝෝෂ විරිතට අයත් වෙන්න නම් කවියට තියෙන්න ඕන අමතර ලක්ෂණ මොනවද කියලා. එය තීරණය වෙන්නේ යතිය යොදන ස්ථාන වලින් (විරාම තබන ස්ථාන). සමුද්‍ර ඝෝෂය ට අයිති වෙන්න නම් 10 වන මාත්‍රාව ලඟින් සහ 18 වන මාත්‍රාව ලඟින් යතිය යෙදිය යුතුයි. එනම් "සමුදුර" යන වචනය ගායනා කර විරාමයක් තැබියයුතු අතර "හමුව_" ගායනා කර අනෙක් විරාමය තැබිය යුතුයි. මේ විදියට විරාම තියන්න හැකි විදියට කවිය ලිව්වොත් පමණයි එය සමුද්‍ර ඝෝෂ විරිතට අයත් වෙන්නේ. දැන් බලන්න මම කලින් ලියපු
සයුරු මැදට බඹු අතහළ බිම කවි පන්තියෙන් ගත්ත මේ කවි පද දෙක...(පොඩ්ඩක් වෙනස් කරා)
සුනිල රුවට පැහැය දිදුල පිලක සිකී
සොඳුරු මෙ බිම බැඳි අනුහස කිමද සකී
මේකෙත් එක පදයක තියෙන්නේ මාත්‍රා 18 යි. ඒ නිසා මෙය අයිති වෙන්නෙත් X ඡන්දසය ට මයි. ඒත් 10 වන මාත්‍රාවෙන් යතිය තියන්න පුළුවන්ද? බැහැ නේද? මාත්‍රාව කැඩෙන්නේ "පැහැය දි" කියන තැනින්. එතනින් විරාමයක් තියලා මේ කවිය ගායනා කරන්න බැහැ. ඒක නිසා මෙය සමුද්‍ර ඝෝෂ විරිත ට අයිති වෙනවා කියලා කියන්න බැහැ.
විරිත් සඳහා තවත් නිදසුන් බොහොමයක් තිබුනත් දැනටමත් ලිපිය දිග වැඩියි වගේ පේන නිසා වෙනම ලිපියක වත් දාන්නම් (කැමති අය ඉන්නවනම් :)
දැන් එහෙනම් වර්ණ/ඝන ඡන්දස ගැනත් කියන්නම්.
~~~~~~~~~~ වර්ණ ඡන්දස ~~~~~~~~~~
වර්ණ චන්දස වැඩිපුර භාවිතා වෙන්නේ සිලෝ නම් පද්‍ය වර්ගයේදී. මෙහිදී සළකන්නේ මාත්‍රා ගණන නොවෙයි, ඝන පිහිටුවන ආකාරය. ඝන ගැන සවිස්තරාත්මක ලිපියක් "
හද පතුල" බ්ලොගයේ තියනවා. එහි සංක්ෂිප්තයක් තමයි මේ
'ම' ගණය - ගුරු/ගුරු/ගුරු (උදා : ආවාරා)
'න' ගණය - ලඝු/ලඝු/ලඝු (උදා: සතොස)
'බ' ගණය - ගුරු/ලඝු/ලඝු (උදා: භාතිය)
'ය' ගණය - ලඝු/ගුරු/ගුරු (උදා: පරාටා)
'ජ' ගණය - ලඝු/ගුරු/ලඝු (උදා: වනාත)
'ර' ගණය - ගුරු/ලඝු/ගුරු (උදා: සෝබනා)
'ස' ගණය - ගුරු/ගුරු/ලඝු (උදා: සෝපාක)
'ත' ගණය - ලඝු/ලඝු/ගුරු (උදා: තුටිනා)
ඝන ඡන්දසයකදී කවියට පිහිටවිය යුතු ගණ වර්ග සහ පිළිවෙල නිශ්චිතව තීරණය කරනවා. මම දන්න විදියට නම් මෙහිදී එක ඡන්දසයකට විරිත් කිහිපයක් වැටෙන්නේ නැහැ. මොකද මාත්‍රා වලදී වගේ නෙවෙයි, ඝන පිහිටවන විදිය තීරණය කරාට පස්සේ කොහොම ලිව්වත් යතිය තබන ස්ථාන වත් ලඝු, ගුරු අක්ෂර පිළිවෙල වත් වෙනස් වෙන්න විදියක් නැහැ. එනිසා ඡන්දසය සහ විරිත ට මෙහිදී එකම නමක් තමයි කියන්නේ.
එවැන්නකට උදාහරණයක් තමයි "
මාලනී විරිත". මේ විරිතේ/ඡන්දසයේ නිතිය තමයි ඝන පිහිටන්න ඕනේ 'න' 'න' 'ම' 'ය' 'ය' කියන පිළිවෙලට. මේ විරිතට ලියවුනු සිලෝ වර්ගයට අයත් කවියක් තමයි "නන්දා මාලිනී" ගයන...ඔබ මට කුමුදෙක්‌මැයි ගීය. බලන්න එහි ඝන පිහිටන ආකාරය...
සැ. යු. - ලඝු අකුරක් සමග හල් අකුරක් යෙදෙන විට එය ගුරු අකුරක් ලෙස ගනී.
ඔ බ ම | ට කු මු | දෙක් මැයි ලා_ | ස ඳේ_ රෑ_ | පි පී_ ආ_
'න' ගණය 'න' ගණය 'ම' ගණය 'ය' ගණය 'ය' ගණය
ඝන ඡන්දසයකට තවත් නිදසුනක් තමයි "
වසන්ත තිලකා විරිත". අපි කවුරුත් දන්න "ජය මංගල ගාථා" නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විරිතෙන්. එහි ඝන පිළිවෙල තමයි 'ත', 'බ', 'ජ', 'ජ', ගුරු 2 .
බා_ හුං ස | හස් ස ම | භි නිම් මි | ත සා යු | ධන් තන්
'ත' ගණය 'බ' ගණය 'ජ' ගණය 'ජ' ගණය ගුරු 2
ජය මංගල ගාථා ගැනත් වෙනමම පෝස්ට් එකක් දාන්න හිතෙනවා. පස්සේ බලමුකෝ.
එහෙනම් ඉතින් ඔන්න ඕකයි ඡන්දස සහ විරිත ගැන මම තේරුම් ගත්ත විදිය. පද්‍යය ගද්‍යයෙන් වෙන් කරන්නේ ඡන්දසයෙන් කියල කියනවනේ. ඡන්දස නැත්නම් එතන සඳැසක් නැහැ. එතකොට තියෙන්නේ නිසඳැසක්. ඒ ගැන මට හිතෙන්නේ මෙහෙමයි
ඡන්දස රැක ගමු සඳැස ට රස දී - නැතිනම් එම සඳ නිසඳැස උපදී
ප. ලි. - ඒත් කවියක රිද්මය ඇඟට දැනෙන කෙනෙකුට කවි ලියන්න මේ දේවල් එකක් වත් දැන ගෙන ඉන්න ඕන නැහැ කියන එකයි මගේ හැඟීම. කවියක් ලියද්දි ඉබේම කවියට ඡන්දසයකුත් විරිතකුත් ලැබෙනවා..