මේ කියන්න යන කතාව මට මතක් උනේ, සමහර බිරින්දෑවරුන් තමන්ගේ ස්වාමි පුරුෂයාව පාලනය කරගෙන ඉන්න විදිය ගැන පත්තරේක ගියපු ලිපියක් දැක්කම.
ඉස්සර අපේ තාත්තගේ ඔෆිස් එකෙන් හැම අවුරුද්දෙම වගේ ට්‍රිප් එකක් යනවා. අපිත් ඒකට යන්න සැදී පැහැදී තමයි ඉන්නේ. ඉතින් මේ ඔෆිස් එකේ අංකල් කෙනෙක් හිටියා "විජේ අංකල්" කියලා. එයාගේ නෝනා හරිම සැරයි ලු. කොටින්ම විජේ අංකල් ටත් පොඩි එකෙක්ට වගේ තහංචි ගොඩක් දාල ලු තියෙන්නේ
.
හැබැයි මේ අන්කලුත් හොඳවයින් කණ මදයෙක්. ඒක නිසා තහංචි දැම්මට කමක් නෑ කියලයි මට නම් හිතුනේ.ඉතින් දැන් විජේ අංකල්ට බයයි ලු "ට්‍රිප් එක යන්නද?" කියලා නෝනගෙන් අහන්න. ඇහුවොත් කීයටවත් යන්න දෙන්නේ නැති බව හොඳටම ෂුවර් ලු. ඉතින් විජේ අංකල් මේකට මරු වැඩක් කලා. ඔපීසියේ ටයිප් රයිටරේකින් තමන්ටම ලියුමක් ටයිප් කර ගත්තලු මෙන්න මේ විදියට....
විජේපාල මහතා
--- නිවස
---- ගම
පුහුණුව සඳහා කැඳවීම
__________________
දියතලා ---- මුලස්ථානයේ පැවැත්වෙන දින 4 ක පුහුණුව සඳහා ඔබව කැඳවා ඇත. මේ පුහුණුව සඳහා ඔබේ සහභාගිත්වය අනිවාර්ය වන අතර පුහුණුව පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් වේ..
..........................
(පුහුණුව පළිබඳ ගල් පැලෙන විස්තර)
...........................
මොකක්දෝ සීල් එකකුත් හොයාගෙන ප්‍රොෆෙෂනල් ගතිය එන්න සීල් එකකුත් ගැහුවලු. අංකල්ගේ අපාය සහාය මිත්‍රයෝ ටික තමයි මේකට සප් එක දීලා තියෙන්නේ. කොහොමහරි ඉතින් ඔය ටයිප් කර ගත්තු ලියුම සාක්කුවේ දාගෙන ගෙදර ගියපු විජේ අංකල් ෂර්ට් එක එල්ලලා තියලා නෝනට අහු වෙන විදියට. ඉතින් වැඩේ ටක්කෙටම හරි ගිහිල්ලා.ෂර්ට් එක හෝදන්න අරගෙන යද්දී ලියුම දැකපු නෝනා,
"දැන් ඉතින් යන්න වෙයි නේද?" කියල ඇහුවලු.
අංකල් (කටින්) : "හ්ම්"
අංකල් (හිතින්) :
කොහොම හරි ගෙදරට ගල් පැලෙන බොරු කියලා අන්තිමේදී විජේ අන්කලුත් ආවා ට්‍රිප් එක යන්න. ඔන්න ඉතින් උඩ රට, මැද රට ඔක්කොම කවර් කර ගෙන අවසාන බාගේ දි අපි ආවේ කළුතර දිහාට. කට්ටියට ඕන උනා කළු ගඟේ බෝට්ටු සවාරියක් යන්න. ඉතින් හොඳටම පදම් වෙලා හිටපු විජේ අන්කලුත් ඇවිත් නැග්ගේ අපි හිටපු බෝට්ටුවට. දැන් ඔන්න බෝට්ටුව යන්න ගත්තා....
වැහැලා වැහැලා වතුර හොඳටම මඩ පාටයි. සැඩ පාරත් ඒ වගේ. බෝට්ටුවත් එහාට මෙහාට පැද්දෙන්න ගත්තම කටිටියම පොඩ්ඩක් බය උනා. ඉතින් කටිටියම බය නැති වෙන්නත් එක්ක එක එක කතා කියද්දී විජේ අංකල් විතරක් පැත්තකට වෙලා ෆුල් අප්සෙට් එකේ ඉන්නවා 
ඕක දැකපු අනිත් කට්ටිය විජේ පාල අංකල්ව බයිට් කරන්න ගත්තා. එක්කෙනෙක් කිව්වා "මැරෙන්න ඔච්චර බය වෙන්න එපා" කියලත්. ඒකට විජේ අංකල් දුන්නා මරු උත්තරයක්....
"කවුඩ අයිෂේ මැරෙන්ඩ බය?...... මම ගෑනිට කියල ආවේ දියතලාවේ යනවා කියලා....දැන් කළු ගඟෙන් මිනිය ගොඩ ගන්න උනොත් එහෙම....මට විෂුමක් වෙන එකක් නෑ"
බෝට්ටුව එළවපු කොලුවටත් හිනා මේ කතාව අහලා.....