වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Thursday, July 18, 2013
පුංචි ආත්තා ගැන මතක
පුංචි ආත්තා කියලා අපි කිව්වෙ නෑ කමින් අපේ සීයගෙ (තාත්තගෙ තාත්තා) නැන්දා කෙනෙක් වෙන කෙනෙක්ට. "ආත්තා" කියන වචනෙ අපිට ඒ තරම් හුරු එකක් නෙමෙයි. අපි පාවිච්චි කරන්නෙ "ආත්තම්මා" / "මී ආත්තම්මා" කියන වචන. නෑ කමට අපේ මී ආත්තම්මා උනත් පුංචි ආත්තට අපි වගේම අම්මලත් කිව්වෙ පුංචි ආත්තා කියල තමයි. ඒක කොහෙන් ආපු නමක්ද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. හොයන්න ගියෙත් නැහැ.
පුංචි ආත්තා ජිවත් උනේ අපේ තාත්තගෙ ගමේ. ඔය ගමේ ගෙදර ගැන මම හිච්චා ලිපියේ ගොඩක් විස්තර කරලා ඇති. ඒ ගෙදරට ටිකක් උඩහට වෙන්න මැටි පිරියම් කරපු ගෙයක, තනියම තමයි පුංචි ආත්තා ජීවත් උනේ. ඇයට දරු මල්ලෝ කවුරුත් හිටියෙ නැහැ. අපේ අත්තම්මා කියපු හැටියට ඇගේ ස්වාමියා තමයි "සින්හලේ මුත්තා". ඒත් අපි ඉපදෙන්නත් කලින් මිය ගිහින්. දෙන්නා අතර සෑහෙන වයස් පරතරයක් තියෙන්න ඇති.
දරුවෙක් මල්ලෙක් නැති පුංචි ආත්තාට දරුවන් උනේ අපේ තාත්තලා, නැන්දලා. මුනුබුරන් උනේ අපි. ඒ ඇරෙන්න ඇයට තවත් දරුවන් ටිකක් හිටියා. ගේ පිරෙන්නම හිටපු බළල් රන්චුවයි වත්තේ මුල්ලක හිටපු ගව පවුලයි හැමදාමත් ඇගේ තනි නොතනියට හිටියා. අලුතෙන් වහු පැටියෙක් හම්බ උනොත් එහෙම උගෙ අම්මගෙන් මුලින්ම දොවා ගන්න කිරි මුදවලා පුංචි ආත්තා තියාගෙන ඉන්නවලු අපේ තාත්තලා එහෙ යනකම්, අලුත් වහු පැටියගෙ කිරි කියලා කන්න දෙන්න.
මට මතක ඇති කාලෙ ඉදලම ඔය ගව පවුලෙ හිටියා "රත්ති" කියලා රතු පාට වැස්සියෙක්. ඒ එකම වැස්සිද නැත්නම් හිටපු හැම එකාටම රත්ති කියලා නම දැම්මද කියන්න මම අදටත් දන්නෙ නෑ. හැබැයි මම ඌට පට්ට බයයි කියලනම් මතකයි. කොටින්ම මොනම විදියකින්වත් අතෑරවන්න බැරිව තිබුන මගේ "සූප්පු බීම" නැති උනේ "සූප්පුව රත්ති අරන් ගියා" කියලා කිව්වට පස්සෙලු. ඊට පස්සෙ මම නෙමෙයි ඒක ආපහු ගෙනත් දෙන්න කියලා කරදර කලේ. මොනව උනත් රත්ති හින්දා මට උනේ හොදක්. නැත්නම් ඕක දිගටම කටේ ගහගෙන ඉදලා දත් බොල්ලෑවක් ආවනම් එහෙම අපේ එක්කෙනා මගේ දිහාවත් නොබලන්න ඉඩ තිබුනා :)
පුංචි ආත්තාට තිබුනේ හැබෑම ලස්සනක්. එයා තරුණ කාලේ එලිසබෙත් රජිණ පරාදයි කියලා තමයි හැමෝම කිව්වේ. ගෙදරට රෙද්දයි හැට්ටෙයි ඇන්දට ආත්තා ගමනක් යද්දි අනිවාර්යෙන්ම ලස්සනට ඔසරියක් ඇදලා ලොකු මාල පෙත්තක් තියන දිග චේන් එකකුත් දාගන්නවා. ඒ වගේම හරිම කෙලින්, කාටත් බය නැති කෙනෙක්. ඔන්න එක දවසක් පුංචි ආත්තා පොඩි කාලේ කාගෙදෝ වත්තක් අයිනේ පොල් ගෙඩියක් වැටිලා තියනවා දැකලා අහුලගෙන ආවලු. ආත්තගෙ අම්මා කරල තියෙන්නෙ ආපහු ආත්තව ඇදගෙන ගිහින් පොල් ගෙඩිය තිබුණ තැනටම දැම්මෙව්ව එකලු. ඔය කතාව අපිට කියලා පුංචි ආත්තා කියනවා මෙන්න මෙහෙම... "තමන්ට අයිති නැති දෙයක් හොරෙන් ගන්න එපා වගේම අයිති නැති දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව ගන්නත් එපා".
ඉස්සර පුංචි ආත්තා මට හැම තිස්සෙම කිව්වෙ ලොකු වෙලා පෙරකදෝරු නෝනා කෙනෙක් වෙන්න කියලා. ඇයට අනුව ඒක තමයි කෙනෙක්ට කරන්න පුලුවන් ඉහලම රැකියාව. ඉස්සර ගමේ මිනිස්සුන්ගෙ නඩු හබ වලට එහෙම පුංචි ආත්තා හරියට දුවලා පැනලා උදව් කලා ලු. ඉතින් පුංචි ආත්තගෙ ලෝකේ පෙරකදෝරුවා ඉන්නෙ ඉහලම තැනක. පස්සෙ කාලෙක මම මොරටුව ඉන්ජිනෙරු පීඨෙට ඇතුල් වෙද්දී ආත්තා කෙලින්ම මුකුත් නොකිව්වට මෙන්න මෙහෙම හිතුවා කියලනම් මට ශුවර්. "අනේ මේ කෙල්ලට බැරි උනා නෙව තව ටිකක් මහන්සි වෙලා ඉගනගෙන පෙරකදෝරු ඉස්කෝලෙට යන්න" :-/
අපේ පුංචි ආත්තා පන්චි දාන්න එහෙම කියාපු ක්‍රීඩිකාව. ඉස්සර, ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් අවුරුදු කාලෙට අපේ තාත්තලගෙ ගෙදර හැමෝම වගේ එහෙ යනවලු පන්චි දාන්න. උදේ පන්චි පැදුර එලුවට පස්සෙ ආපහු අකුලන්නෙ හවසට ලු. අපි පොඩි කාලෙ කියලත් වෙනසක් නෑ. ඒ කාලෙට ආත්තා අපේ ගෙවල්වල ආවම දවස පුරාම ඕක තමයි සෙල්ලම. හැබැයි ඉතින් හොර බොරු කරලා ආත්තගෙ කනින් රින්ගන එකනම් බොරු. (මේ සෙල්ලමට ඇබ්බහි උනාම ඉතින් මී පැණි කෑවා වගේ තමා. කන්න කන්න ආස හිතෙනවා. ආ..පන්චි දාන හැටි දන්නේ නැත්නම් මෙන්න මේක බලන්න).
පුළුවන් කාලේ කොයි තරම් පිළිවෙලට, තමන්ට උවමනා විදියට හිටියත් අන්තිමේදී කාලයක් එනවා කාගේ හරි පිහිටක් නැතුව බැරි වෙන. පුංචි ආත්තටත් එහෙම කාලයක් ආවා. ඒ වෙනකොට අපිත් නැන්දලත් ගමෙන් ගිහින්. ඉදලා හිටලා බලන්න එනවා ඇරෙන්න ලග නැවතිලා ඉදගෙන සාත්තු කරන්න කෙනෙක් හිටියේ නැහැ. අන්තිමේදි ඒ වැඩේ බාර ගත්තේ දරුවෙකුත් එක්ක තනි වෙච්ච, පුංචි ආත්තාගේ දුරින් නෑ වෙන කෙනෙක්. ආත්තගේ ගෙදරත් එයාටම ලියලා දුන්නා. දෙන්නාට දෙන්නා උදව් කර ගත්තේ එහෙමයි. ඉතින් අවසාන කාලෙදි පුංචි ආත්තා විදපු දුක සුළු එකක් එහෙම නෙමෙයි. ඇදෙන් බහින්නත් බැරුව එක් තැන් වෙලාම හිටියා. හරියට පරඩැලක් වගේ ඇග පත වැහැරිලා ගියා. තරුණ කාලේ කොහොමට හිටපු මනුස්සයෙක්ද කියලා හිතද්දී හරිම දුක හිතෙනවා. කාට උනත් ඔය ටිකනේ ඉතින්.
ඔහොම කාලෙ ගෙවිලා යද්දී එක දවසක් හවසක අපිට ආරන්චියක් ආවා ගමෙන්, "පුංචි ආත්තා නැති වෙලා ලු". අපි එදා ගමට යද්දී කළුවර වැටිලා. පුංචි ආත්තාගේ ගෙදරට ටික දෙනෙක් එකතු වෙලා හිටියා. ආත්තව ඇදක් උඩ තියලා ඉහ ඉද්දරින් පහනක් පත්තු කරලා තිබුණා. එදා ඒ මළ ගෙදරින් පස්සේ අපි එහෙ යැවුනෙම නැහැ. ගියා කියලා කවුරු බලන්නද? මම හිතන්නෙ එහෙ හිටපු හරක් ටිකත් දැන් නැහැ. විකුණලා වෙන්න ඕන.
පුංචි ආත්තගෙ නිවසත් එක්ක බැදුන සුන්දර මතක ආත්තත් එක්කම වැළලිලා ගියා කියලා හිතෙනවා. ඇගෙන් මට තෑග්ගක් හැටියට ලැබුණ ඉන්ග්‍රීසි ආණ්ඩු කාලේ පීරිසි කෝප්ප කුට්ටම විතරක් තවමත් මගේ කෞතුක භාණ්ඩ එකතුව අතරේ තියනවා.
Monday, July 8, 2013
සමුද්‍රයක් තැනූ රජෙක් - රාජාවලිය XXX
XXX කිව්වේ 30 කියන එක (දැන් කී දෙනෙක් හැරිලා යාවිද මන්දා :).
අද අපි කතා කරන්න යන්නේ කලින් ලිපියේ අවසානෙට කතා කරපු ගජබාහු රජතුමාගෙන් පස්සේ අපේ රටේ රජ පවුල්වල වෙච්ච සිද්ධි ගැන. මතකයිනේ ඒ ලිපිය පුරාම තිබුනේ මහා විජයබාහු රජතුමාගේ සොයුරිය වෙච්ච මිත්තා කුමාරිගේ පුත්තු තුන් දෙනා (මානාභරණ, සිරි වල්ලභ සහ කීර්ති ශ්‍රී මේඝ), විජයබාහු රජතුමාගේ පුතාටයි (වික්‍රමබාහු) මුණුබුරාටයි (ගජබාහු) කරපු කරදර ගැන. නිදහසේ රජ කරගෙන ඉන්න දුන්නෙම නෑ නේ. මානාභරණගේ මව විජයබාහු රජුගේ සොයුරිය වීමට අමතරව තවත් නෑ කමක් ඔවුන් අතර තියනවා. ඒ තමා මානාභරණ විවාහ කරගත්තේ විජයබාහු රජුගේ දුවක්. එහෙමත් නැත්නම් වික්‍රමබාහු ගේ සොයුරියක්. ඇය රත්නාවලී. තිලෝකසුන්දරී කියන බිසව තමයි ඇගේ මව. එහෙම බලද්දී හතුරුකම් කරලා තියෙන්නේ දෙවිදියකින්ම මස්සිනා වෙච්චි කෙනෙක්ට :)
ඉතින් මේ මානාභරණටයි රත්නාවලී බිසවටයි මිත්තා සහ පබාවතී නම් දූවරු දෙදෙනෙක් සහ එක පුත් කුමරෙක් ඉන්නවා. ඒ පරාක්‍රමබාහු කුමාරයා. නෑ කම අනුවනම් පරාක්‍රමබාහු කුමාරයා මහා විජයබාහු රජුගේ මුණුබුරා. මේ කුමාරයා කුඩා කාලේ ඉඳලම ඉතාමත් නිර්භීත වගේම දක්ෂ කම් පෙන්වපු කුමාරයෙක් ලු. මේ කාලය වෙද්දී දෙවන ගජබාහු රජතුමා පොළොන්නරුවේ රජකම් කරද්දී මානාභරණ ඇතුළු තෙසොහොයුරෝ රුහුණු රටේ පාලන කටයුතු කළා (කෙතරම් උත්සාහ කළත් තමන්ගේ නෑයින් එලවා පොලොන්නරුව අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි උන නිසා).
ඔය අතරෙදි මානාභරණ අසනීප වී මිය යන නිසා ඔහුගේ ප්‍රදේශය පාලනය කරන්න "සංඛ" නම් සෙනෙවියෙක් යොදවන්නේ කීර්ති ශ්‍රී මේඝ විසින්.
සැමියා නැතිව තනි වෙන රත්නාවලී බිසවට සිද්ධ වෙනවා දරුවනුත් රැගෙන ඔවුන්ගේ සොයුරා වූ සිරි වල්ලභ ලඟට යන්න. සිරි වල්ලභ ගේ බිසව තමයි "සුගලා". ඇය, විජයබාහු රජුට ලීලාවතී රැජිනගෙන් ලැබුණ දියණිය යශෝදරා ගේ දුවක්. මොවුන් දෙදෙනාගේ පුතාගේ නමත් "මානාභරණ". ඉතින් මේකෙන් වෙන්නේ මිත්තා කුමරිය සහ මානාභරණ අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වීම. ඒත් රත්නාවලී බිසව මේ දියණියගේ සම්බන්ධෙට කැමති වෙන්නේ නැහැ. ඇගේ අදහස උනේ ගජබාහු රජතුමාට මේ මිත්තා කුමරියව පාවා දීම. මොනවා උනත් ගජබාහු කියන්නේ තමන්ගේ සොහොයුරාගේ පුතා. ඒ වගේම රටේ රජතුමා. ඉතින් සැමියාගේ සොහොයුරාගේ පුතාට වඩා ගජබාහු කුමාරයාට කැමැත්තක් ඇති වීම සාධාරණයි නේ. මේ බව දැනගත් සිරි වල්ලභ කෝපයට පත් වෙනවා, තමන්ගේ සතුරෙක්ට මිත්තාව පාවා දීමට යන නිසා. ඉතින් සිරි වල්ලභ මොකද කරන්නේ, රත්නාවලී බිසවගේ විරුද්ධත්වය නොතකාම මිත්තාව මානාභරණට පාවා දීම. මෙයින් අසතුටට පත් වෙන රත්නාවලී බිසව, පරාක්‍රමබාහු කුමාරයාත් රැගෙන පිටත් වෙන්නේ ඔවුන්ගේ අනෙක් සොයුරා වූ කීර්ති ශ්‍රී මේඝ ලඟට. කිර්ති ශ්‍රී මේඝ ඔවුන්ව පිළි අරගෙන පරාක්‍රමබාහු කුමාරයාට ඉතා හොඳ අධ්‍යාපනයකුත් ලබා දෙනවා.
පසුව පබාවතී කුමරියත් මානාභරණගේ බිසවක් බවට පත් වෙන අතර මිත්තා සහ පබාවතී දෙදෙනාටම පුතුන් දෙදෙනෙක්ද ලැබෙනවා. මේ අතරේ සිරි වල්ලභ මිය යන නිසා මානාභරණට ඒ වගකීම් පැවරෙනවා.
මේ අතරේ අධ්‍යාපනය හමාර කළ පරාක්‍රමබාහු කුමාරයා පසු වෙන්නේ සිත් තැවුලෙන්. හේතුව තමයි රුහුණ සහ රජ රට අසමගිව රට දෙකඩව පැවතීම. මේ ගැන දිගින් දිගටම කල්පනා කරන කුමාරයා රහසේම මාලිගයෙන් පිට වෙලා යන්නේ රට නැවතත් එක්සේසත් කිරීමේ අරමුණින්. කුමාරයා ඒ කාර්යය පටන් ගන්නේ රුහුණේ ප්‍රදේශයක් පාලනය කරමින් සිටි සංඛ සෙනෙවියා මරා දැමීමෙන්. මෙය ආරංචි වෙන කීර්ති ශ්‍රී මේඝ කෝපයට පත් වී කුමාරයා දුර දිග නොබලා ක්‍රියා කරන බව සිතා ඔහු අල්ලාගෙන ඒමට සේනා කිහිපයක් පිටත් කළත් කුමාරයාගේ සෙබළුන් ඔවුන්ව පරාජය කරනවා.
ඉන් පසුව රජරට බලා ගමන් කරන කුමරු ගැන ඇසූ ගජබාහු රජතුමා ඉතාමත් මිත්‍රශීලි අන්දමින් ඔහුව තම මාළිගාවට කැඳවා ගෙන විත් සත්කාර කරනවා. එලෙස මිත්‍ර වන මේ දෙමස්සිනාලාගේ සම්බන්ධය වඩාත් තර වෙන්නේ පරාක්‍රමබාහු කුමාරයාගේ තවත් සොයුරියක් වන භද්‍රාවතී ගජබාහු රජුට විවාහ කර දීම නිසා. මේ විදියට පරාක්‍රමබාහු කුමාරයා පොළොන්නරු මාළිගාවේ නිදහසේ කල් යවද්දී ගජබාහු රජතුමාට ඔහු ගැන නිතැතින්ම සැක පහළ වෙනවා. පරාක්‍රමබාහු ගේ දක්‍ෂ බවත් තේජසත් එයට බලපාන්න ඇති. මේ නිසා ගජබාහු රජුගේ හැසිරීමේ වෙනසක් ඇති වෙන අතර එය වටහා ගන්නා පරාක්‍රමබාහු නැවතත් රුහුණු රට බලා යනවා.
කුමරුගේ සුළු පියා වූ කීර්ති ශ්‍රී මේඝ මිය ගිය පසු රුහුණේ පාලනය බාර වන්නේ ඔහුට. ඒත් ඔහුගේ අභිප්‍රාය වෙන්නේ මුළු ලංකාවටම රජු වීමටයි. මුලින්ම රුහුණ සශ්‍රික කිරීම අරඹන ඔහු පසුව වයඹ හා මලය ප්‍රදේශත් ඔහුගේ පාලනයට නතු කරගන්නවා. කුමරුගේ මී ළඟ අරමුණ වෙන්නේ රජරට යටත් කර ගැනීම. ගජබාහු රජු සමග කළ සටන් ලෙහෙසි පහසු ඒවා නොවුනත් අවසානයේ ගජබාහු රජු සිර කිරීමට ඔහුට හැකි වෙනවා.
මේ අතර පරාක්‍රමබාහුට විරුද්ධව තවත් සතුරෙක් ක්‍රියාත්මක වෙනවා. ඒ, මිත්තාව විවාහ කරගත් මානාභරණ. තමන්ගේ මස්සිනාට එරෙහිව සටන් වදින මානාභරණට හැකි වෙනවා ඔහුව පරදා කෙටි කලකට පොළොන්නරුවේ පාලනය අල්ලා ගැනීමට. එහෙත් නැවතත් ඔහු සමග සටන් වදින පරාක්‍රමබාහු ඔහුව පලවා හරිනවා. මේ අවසරයෙන් හිරෙන් පැන යන ගජබාහු, ගන්තලාවට පැන ගොස් සේනාව රැස් කිරීමට පටන් ගන්නවා.
මෙන්න මේ වෙලාවේදී සිද්ධ වෙන්න යන විනාසය දැකලා වහාම ක්‍රියාතමක වෙන්නේ සංඝයා වහන්සේලා. කුමාරවරුන් එකිනෙකා මරා ගැනීමේ ආදීනව දුටු උන්වහන්සේලා තීරණය කරනවා කෙසේ හෝ මොවුන් සමගි කරවීමට. මුලින්ම ගජබාහු රජු ඒ සඳහා කැමති කරගෙන පසුව පරාක්‍රමබාහු හමුවී අනුශාසනා කරනවා. ගජබාහු රජු දැන් මහළු බවත් ඔහුට දරුවන් නැති නිසා ඔහුගෙන් පසු පරාක්‍රමබාහුට රජ කම හිමි කරගත හැකි බව පසක් කර දුන් පසු ඔහුත් සමාදානයට එකඟ වෙනවා. මේ අනුව ඔවුන් සාම ගිවිසුමක් අනුව සමාදාන වූ බවත් ඒ ගිවිසුම සංගමුව රජමහා විහාරයේ සෙල්ලිපි ගත කළ බවටත් විශ්වාස කෙරෙනවා.
ක්‍රි. ව. 153 දී ගජබාහු රජු මියගිය පසු ඇමතියන් පිරිසකගේ උපදෙස් මත මානාභරණ නැවතත් පොලොන්නරුව අල්ලා ගැනීම සඳහා සටන් වදිනවා. එහෙත් වඩාත් බලවත් පරාක්‍රමබාහු එයින්ද ජය ගන්නවා. ඉන් නොබෝ කලකට පසුව මානාභරණ මිය යන නිසා ඔහුගේ ඇමතිවරුන් කරන්නේ මානාභරණගේ මව වන සුගලා වටා එකතු වී නැවතත් පරාක්‍රමබාහුට පහර දීම සඳහා සටන් වදින එක. පරාක්‍රමබාහු කුමරු "රක්ඛ" නම් සෙනෙවියෙකුගේ සහාය ඇතුව මේ සේනාව සමග සටන් වදිමින් ඔවුන්ව රුහුනටම හඹා යනවා. ඒ අතරේ දන්ත ධාතුව අයත් කරගන්නා සුගලා, එය රැගෙන උරුවෙල ට පැන යන නිසා පරාක්‍රමබාහු ඇතුළු සේනාව රුහුණ පීරමින් සටන් කර ජයග්‍රහණය කරනවා. දන්ත ධාතුව නැවතත් පොළොන්නරුවට වැඩමවන ඔහු ඒකීය ලංකාවක මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 - 1186) ළෙස අභිෂේක ලබනවා.
ඔය ආකාරයට තමයි ලක්දිව තවත් ශ්‍රේෂ්ඨ නරපතියෙක් බිහි වුනේ. රට වාරිමාර්ගයෙන්, ගොවි තැනින් සශ්‍රික කරා වගේම බුදු සසුනටත් උපරිම අනුග්‍රහයක් දක්වපු රජ කෙනෙක්. පරාක්‍රම සමුද්‍රය එහෙම කට්ටියට මතක් වෙනවා ඇතිනේ. එතකොට අර "අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යාමට නොදිය යුතුය" කියන කියමනත් මතක ඇතිනේ...
මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජුගේ මාලිගයේ නටබුන්
මේ පිළිමය පරාක්‍රමබාහු රජුගේ කියලා සැලකුවත් ඒ ගැන තවත් මතවාද තියන බව ඔබ දන්නවා ඇති.
මෙයින් පස්සේ සුගලාට එහෙම මොකද උනේ කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු.

Subscribe to:
Posts (Atom)