වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Thursday, July 18, 2013
පුංචි ආත්තා ගැන මතක
පුංචි ආත්තා කියලා අපි කිව්වෙ නෑ කමින් අපේ සීයගෙ (තාත්තගෙ තාත්තා) නැන්දා කෙනෙක් වෙන කෙනෙක්ට. "ආත්තා" කියන වචනෙ අපිට ඒ තරම් හුරු එකක් නෙමෙයි. අපි පාවිච්චි කරන්නෙ "ආත්තම්මා" / "මී ආත්තම්මා" කියන වචන. නෑ කමට අපේ මී ආත්තම්මා උනත් පුංචි ආත්තට අපි වගේම අම්මලත් කිව්වෙ පුංචි ආත්තා කියල තමයි. ඒක කොහෙන් ආපු නමක්ද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. හොයන්න ගියෙත් නැහැ.
පුංචි ආත්තා ජිවත් උනේ අපේ තාත්තගෙ ගමේ. ඔය ගමේ ගෙදර ගැන මම හිච්චා ලිපියේ ගොඩක් විස්තර කරලා ඇති. ඒ ගෙදරට ටිකක් උඩහට වෙන්න මැටි පිරියම් කරපු ගෙයක, තනියම තමයි පුංචි ආත්තා ජීවත් උනේ. ඇයට දරු මල්ලෝ කවුරුත් හිටියෙ නැහැ. අපේ අත්තම්මා කියපු හැටියට ඇගේ ස්වාමියා තමයි "සින්හලේ මුත්තා". ඒත් අපි ඉපදෙන්නත් කලින් මිය ගිහින්. දෙන්නා අතර සෑහෙන වයස් පරතරයක් තියෙන්න ඇති.
දරුවෙක් මල්ලෙක් නැති පුංචි ආත්තාට දරුවන් උනේ අපේ තාත්තලා, නැන්දලා. මුනුබුරන් උනේ අපි. ඒ ඇරෙන්න ඇයට තවත් දරුවන් ටිකක් හිටියා. ගේ පිරෙන්නම හිටපු බළල් රන්චුවයි වත්තේ මුල්ලක හිටපු ගව පවුලයි හැමදාමත් ඇගේ තනි නොතනියට හිටියා. අලුතෙන් වහු පැටියෙක් හම්බ උනොත් එහෙම උගෙ අම්මගෙන් මුලින්ම දොවා ගන්න කිරි මුදවලා පුංචි ආත්තා තියාගෙන ඉන්නවලු අපේ තාත්තලා එහෙ යනකම්, අලුත් වහු පැටියගෙ කිරි කියලා කන්න දෙන්න.
මට මතක ඇති කාලෙ ඉදලම ඔය ගව පවුලෙ හිටියා "රත්ති" කියලා රතු පාට වැස්සියෙක්. ඒ එකම වැස්සිද නැත්නම් හිටපු හැම එකාටම රත්ති කියලා නම දැම්මද කියන්න මම අදටත් දන්නෙ නෑ. හැබැයි මම ඌට පට්ට බයයි කියලනම් මතකයි. කොටින්ම මොනම විදියකින්වත් අතෑරවන්න බැරිව තිබුන මගේ "සූප්පු බීම" නැති උනේ "සූප්පුව රත්ති අරන් ගියා" කියලා කිව්වට පස්සෙලු. ඊට පස්සෙ මම නෙමෙයි ඒක ආපහු ගෙනත් දෙන්න කියලා කරදර කලේ. මොනව උනත් රත්ති හින්දා මට උනේ හොදක්. නැත්නම් ඕක දිගටම කටේ ගහගෙන ඉදලා දත් බොල්ලෑවක් ආවනම් එහෙම අපේ එක්කෙනා මගේ දිහාවත් නොබලන්න ඉඩ තිබුනා :)
පුංචි ආත්තාට තිබුනේ හැබෑම ලස්සනක්. එයා තරුණ කාලේ එලිසබෙත් රජිණ පරාදයි කියලා තමයි හැමෝම කිව්වේ. ගෙදරට රෙද්දයි හැට්ටෙයි ඇන්දට ආත්තා ගමනක් යද්දි අනිවාර්යෙන්ම ලස්සනට ඔසරියක් ඇදලා ලොකු මාල පෙත්තක් තියන දිග චේන් එකකුත් දාගන්නවා. ඒ වගේම හරිම කෙලින්, කාටත් බය නැති කෙනෙක්. ඔන්න එක දවසක් පුංචි ආත්තා පොඩි කාලේ කාගෙදෝ වත්තක් අයිනේ පොල් ගෙඩියක් වැටිලා තියනවා දැකලා අහුලගෙන ආවලු. ආත්තගෙ අම්මා කරල තියෙන්නෙ ආපහු ආත්තව ඇදගෙන ගිහින් පොල් ගෙඩිය තිබුණ තැනටම දැම්මෙව්ව එකලු. ඔය කතාව අපිට කියලා පුංචි ආත්තා කියනවා මෙන්න මෙහෙම... "තමන්ට අයිති නැති දෙයක් හොරෙන් ගන්න එපා වගේම අයිති නැති දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව ගන්නත් එපා".
ඉස්සර පුංචි ආත්තා මට හැම තිස්සෙම කිව්වෙ ලොකු වෙලා පෙරකදෝරු නෝනා කෙනෙක් වෙන්න කියලා. ඇයට අනුව ඒක තමයි කෙනෙක්ට කරන්න පුලුවන් ඉහලම රැකියාව. ඉස්සර ගමේ මිනිස්සුන්ගෙ නඩු හබ වලට එහෙම පුංචි ආත්තා හරියට දුවලා පැනලා උදව් කලා ලු. ඉතින් පුංචි ආත්තගෙ ලෝකේ පෙරකදෝරුවා ඉන්නෙ ඉහලම තැනක. පස්සෙ කාලෙක මම මොරටුව ඉන්ජිනෙරු පීඨෙට ඇතුල් වෙද්දී ආත්තා කෙලින්ම මුකුත් නොකිව්වට මෙන්න මෙහෙම හිතුවා කියලනම් මට ශුවර්. "අනේ මේ කෙල්ලට බැරි උනා නෙව තව ටිකක් මහන්සි වෙලා ඉගනගෙන පෙරකදෝරු ඉස්කෝලෙට යන්න" :-/
අපේ පුංචි ආත්තා පන්චි දාන්න එහෙම කියාපු ක්‍රීඩිකාව. ඉස්සර, ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් අවුරුදු කාලෙට අපේ තාත්තලගෙ ගෙදර හැමෝම වගේ එහෙ යනවලු පන්චි දාන්න. උදේ පන්චි පැදුර එලුවට පස්සෙ ආපහු අකුලන්නෙ හවසට ලු. අපි පොඩි කාලෙ කියලත් වෙනසක් නෑ. ඒ කාලෙට ආත්තා අපේ ගෙවල්වල ආවම දවස පුරාම ඕක තමයි සෙල්ලම. හැබැයි ඉතින් හොර බොරු කරලා ආත්තගෙ කනින් රින්ගන එකනම් බොරු. (මේ සෙල්ලමට ඇබ්බහි උනාම ඉතින් මී පැණි කෑවා වගේ තමා. කන්න කන්න ආස හිතෙනවා. ආ..පන්චි දාන හැටි දන්නේ නැත්නම් මෙන්න මේක බලන්න).
පුළුවන් කාලේ කොයි තරම් පිළිවෙලට, තමන්ට උවමනා විදියට හිටියත් අන්තිමේදී කාලයක් එනවා කාගේ හරි පිහිටක් නැතුව බැරි වෙන. පුංචි ආත්තටත් එහෙම කාලයක් ආවා. ඒ වෙනකොට අපිත් නැන්දලත් ගමෙන් ගිහින්. ඉදලා හිටලා බලන්න එනවා ඇරෙන්න ලග නැවතිලා ඉදගෙන සාත්තු කරන්න කෙනෙක් හිටියේ නැහැ. අන්තිමේදි ඒ වැඩේ බාර ගත්තේ දරුවෙකුත් එක්ක තනි වෙච්ච, පුංචි ආත්තාගේ දුරින් නෑ වෙන කෙනෙක්. ආත්තගේ ගෙදරත් එයාටම ලියලා දුන්නා. දෙන්නාට දෙන්නා උදව් කර ගත්තේ එහෙමයි. ඉතින් අවසාන කාලෙදි පුංචි ආත්තා විදපු දුක සුළු එකක් එහෙම නෙමෙයි. ඇදෙන් බහින්නත් බැරුව එක් තැන් වෙලාම හිටියා. හරියට පරඩැලක් වගේ ඇග පත වැහැරිලා ගියා. තරුණ කාලේ කොහොමට හිටපු මනුස්සයෙක්ද කියලා හිතද්දී හරිම දුක හිතෙනවා. කාට උනත් ඔය ටිකනේ ඉතින්.
ඔහොම කාලෙ ගෙවිලා යද්දී එක දවසක් හවසක අපිට ආරන්චියක් ආවා ගමෙන්, "පුංචි ආත්තා නැති වෙලා ලු". අපි එදා ගමට යද්දී කළුවර වැටිලා. පුංචි ආත්තාගේ ගෙදරට ටික දෙනෙක් එකතු වෙලා හිටියා. ආත්තව ඇදක් උඩ තියලා ඉහ ඉද්දරින් පහනක් පත්තු කරලා තිබුණා. එදා ඒ මළ ගෙදරින් පස්සේ අපි එහෙ යැවුනෙම නැහැ. ගියා කියලා කවුරු බලන්නද? මම හිතන්නෙ එහෙ හිටපු හරක් ටිකත් දැන් නැහැ. විකුණලා වෙන්න ඕන.
පුංචි ආත්තගෙ නිවසත් එක්ක බැදුන සුන්දර මතක ආත්තත් එක්කම වැළලිලා ගියා කියලා හිතෙනවා. ඇගෙන් මට තෑග්ගක් හැටියට ලැබුණ ඉන්ග්‍රීසි ආණ්ඩු කාලේ පීරිසි කෝප්ප කුට්ටම විතරක් තවමත් මගේ කෞතුක භාණ්ඩ එකතුව අතරේ තියනවා.
Subscribe to:
Post Comments (Atom)
ආත්තා ගැන මතකය එහෙමයි නේද ? අපේ කිරිඅම්මා කිව්වෙ "පුතේ පියුන් ජොබ් එකක් හරි කමක් නෑ පැන්සොන් තියන ආණ්ඩුවෙ එකක් හොයා ගන්න" කියලා. අපි පුද්ගලික අංශයේ රැකියාවල් වලට යොමු වුනා කිව්වම උන්දෑ කම්මුලේ අත ගහගෙන අනිච්චේ දුක්කේ කිව්වා.
ReplyDeleteඑක් තැන්වෙලා, දුක් විඳලා මැරෙන්න වෙන එකනම් මහම සාපයක් තමා. හතුරෙකුටවත් එහෙම වෙන්න හොඳ නෑ අප්පා.. තමන්ගෙම කටයුතුවත් තමන්ට කරගන්න බැරි වුනාම මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවා ඇත්ද ?
හ්ම්ම්...ගොඩක් අය ආණ්ඩුවේ ජොබ් වලට කැමති ඔය පැන්සොන් එක හින්දා තමා.
Deleteමමත් ඔය එක්තැන් වෙලා මැරෙන වැඩේට නම් බයයි. ඒක තමන්ට වගේම අනිත් අයටත් කරදරයක් අප්පා..
හසරැල්ගේ පෝස්ට් එකෙන් පස්සේ නේද සයුරිටත් ගමේ සුන්දර මතක නැවත මතක් උනේ ..? මට නම් ගොඩක් ලොකුවට ආච්චිලා සීයලා ගැන මතකයක් නැහැ..මොකද මම පරම්පරාවේ බාලම ළමයින්ගෙන් කෙනෙක් නිසා..මගේ අයියලම මට වඩා 20 -30 වැඩිමල් .. ( ඔතොකොට තේරෙනවනේ මගේ මාමලාගේ , ලොකු තාත්තලාගේ වයස ගැන . ආච්චිලා ගැන කවර කතාද ) මට හරියට දැනුම් තේරුම් එන කාලේ එද්දී එයාල මේ ලෝකේ හැර ගිහින්. නමුත් බොහෝ දෙනා මාව නම් දැකලා තියෙනවා..
ReplyDeleteඒ කෙසේ නමුත් මගේ අම්මගේ අම්මව මට මතකයි.සුදුම සුදුයි පුළුන් බෝලයක් වගේ.. හොඳම හොඳ ආඩම්බරකාරියක්..( රස කතාවකුත් මතක් උනා.. හෙමීට පෝස්ට් එකක්ම දාන්නම්කො ) කෑගල්ලේ තමයි ආච්චිලගේ ගෙදර තිබුණේ. බොහෝම කෙළින් ඉන්න සැර පරුෂ කෙනෙක් විදිහටයි ප්‍රසිද්ධ.
මට මතකයි ඉස්සර අපිව වට කරන් මුද්‍රස්පලන් , ටොපි චොකලට් එහෙම බෙදලා දෙනවා සමසමව. අපිත් ඉතින් පෝලිමේ ගිහින් අපිට හිමි කොටස ගන්නවා..පෝලින් පනින්න බැහැ ..:P
මට මහා ලොකු සුන්දර පරිසරයක ගෙවුන අතීතයක් නැහැ . පුංචි කාලෙම මම මගේම ලෝකයක් හොයන් ගියා සහ ලබාගත්තා.. මේ පෝස්ට් එකෙන් මගේ මතකයේ ඉතුරුව තිබුණ පුංචි දේවල් ටිකත් නැවත මතක් උනා..ඒත් මතක් කරගන්න කියලා මහා ලොකු සිද්දි ටිකක් නැහැ සයුරිලාට වගේ..
( කමෙන්ට් එකට වාක්‍ය ගලපගන්නත් බැරි උනා හරියට )
//මට නම් ගොඩක් ලොකුවට ආච්චිලා සීයලා ගැන මතකයක් නැහැ..මොකද මම පරම්පරාවේ බාලම ළමයින්ගෙන් කෙනෙක් නිසා.//
Deleteමටත් එහෙමයි. මං පවුලේ අවසාන සාමාජිකයා නිසා මට මතක තියන්නෙ අම්මගෙ අම්මගෙ සුදු පාට කොණ්ඩෙ විතරයි. ඒකත් ඔලුවට උඩින් ඇදිල ගිය වලාකුලක් වගෙ පුංචි මතකයක්..
//මගේ අයියලම මට වඩා 20 -30 වැඩිමල් .. ( ඔතොකොට තේරෙනවනේ මගේ මාමලාගේ , ලොකු තාත්තලාගේ වයස ගැන//
Deleteහම්මේ..අර කිව්වා වගේ ආච්චිලා සීයලා ගැන කවර කතාද?
මටනම් ඉතින් ඔකේ අනිත් පැත්ත..මම තමා වැඩිමලා
දෙන්නටම පුන්චි හරි මතකයන් තියන නිසා පුලුවන් වෙලාවක ලිව්වොත් නේද හොද?
පහන් යායට එක්ක ලැබුනෙ කාලෙකින්...කොටින්ම මගේ බ්ලොග් එකට ආවෙත් කාලෙකින්නෙ.. :D
ReplyDeleteඅක්කගෙ අත්තම්ම ගැන අහලා මටත් මතක් වුනේ මගෙ අත්තම්මව..එයත් ඉස්සර ඔය වගේමයි...අපට හරිම ආදරෙයි.. :)
ඔව් නේන්නම් කාලෙකින් තමා :) මකුලිච්චියෝ..මෙයා මට මී ආත්තම්මා තමා වෙන්නේ
Delete/ අපේ අත්තම්මා කියපු හැටියට ඇගේ ස්වාමියා තමයි "සින්හලේ මුත්තා". /
ReplyDeleteසයුරි අනිවාර්යයෙන් පාතරට වෙන්න ඕන...මොකද ඔය සිංහලේ කියන ව්‍යාවහාරය යෙදෙන්නෙ පාතරටට අදාලව. පාතරට මිනිස්සු සිංහලේ කියල කියන්නෙ ( ඇත්තටම නම් කියන්නෙ නෙවෙයි කිව්වෙ කියලයි කියන්න ඕන , මොකද මම හිතන්නෙ නෑ දැං ඒ ව්‍යාවහාරය භාවිතාවෙනවයි කියල කොහොමවත්ම ) ඌව වෙල්ලස්සට
ඒ ඇයිද කියල කියන්න නම් මම හරියටම දන්නෙ නෑ, ( ඒ ගැන තොරතුරු හොයාබැලුවත් සාධක සහිතව යමක් දැනගන්ට බැරි උනා) සමහරවිට මම හිතන්නෙ ඔය ලන්දේසි යුගයෙ අවසාන කාලෙ සහ ඉංග්‍රීසින් ලංකාවට ආව මුල් කාලෙ, ඒ කියන්නෙ 1790 - 1815 අතර වගෙ ඌව වෙල්ලස්ස ප්‍රදේශය කන්ද උඩරට රාජධානියෙ කොටසක්. ඒ නිසා පාතරට ලන්දේසින්ට හෝ ඉංග්‍රීසින්ට යටත්ව හිටපු සිංහල මිනිස්සු ඒ ප්‍රදේශය හැඳින්නුවෙ සිංහලේ ( සිංහල රජෙකුගේ පාලනය යටතේ පවතින ප්‍රදේශය )කියල වෙන්න ඇති. ඒ නිසා බොහෝවිට ඌව වෙල්ලස්ස සිංහලේ නමින් හැඳින්වුනා වෙන්න පුළුවන්.
කොහොමහරි ඌව වෙල්ලස්ස ඒ කිව්වෙ බදුල්ල මොණරාගල ප්‍රදේශයට වෙලඳාම් කටයුතු සඳහා යන එක පාතරට ප්‍රදේශවල හැඳින්වුනේ සිංහලේ යනව කියලයි. මර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ ගම් පෙරළියෙ සයුරිට මතක ඇති නන්දගෙ පළමු ස්වාමියා ජිනදාස අන්තිමට බැරිම තැන කරන්නෙ සිංහලේට වෙළඳාමට යන එක.
අපෙ අප්පච්චි පාතරට. අකුරැස්ස කිට්ටුව. එයයිගෙ මල්ලි කෙනෙක් හිටිය අපි කිව්වෙ සිංහලේ බාප්පා කියල. අප්පච්චි කිව්වෙ සිංහලේ මල්ලි නැත්තං සිංහලය කියල.මම ඔය අප්පච්චිලගෙ ගමේ ගියාම හෙමිහිට ඔය විස්තර හොයල බලනව. ඒ අපෙ බාප්පා අවුරුදු දාසයක් වගෙ කලෙ ඔය මොණරාගල දිහා කඩේක වැඩට ගිහිල්ල. ඒකයි මනුස්සයට සිංහලේ පුතා, සිංහලේ මල්ලි, සිංහලේ බාප්පා කියල කියන්නෙ.
ඔය සයුරිගෙ සිංහලේ මුත්තත් මම හිතනව ඒ වගෙ ඌව වෙල්ලස්ස පැත්තෙ වෙළඳාමට යන්ට ඇති ඒ කාලෙ. වෙලඳාම කොහොම වෙතත් අඩුගානෙ ඒ පැත්තෙ ගිහිල්ල ඉන්ටවත් ඇති. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් අහල බලන්ට..හෙහ්, හෙහ්,
//මර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ ගම් පෙරළියෙ සයුරිට මතක ඇති නන්දගෙ පළමු ස්වාමියා ජිනදාස අන්තිමට බැරිම තැන කරන්නෙ සිංහලේට වෙළඳාමට යන එක//
Deleteඔය ‘සිංහලේ‘ කියන යෙදුම දැක්ක ගමන් මටත් මතක් වෙන්නෙ ගම්පෙරලිය.
//සිංහල රජෙකුගේ පාලනය යටතේ පවතින ප්‍රදේශය//
ඉස්සර අපිට ප්‍රශ්නයක් විදියටත් සිංහලේ අවසාන රජු කවුද කියල ඉතිහාස පේපර් එකේ තිබුනා. හැබැයි ඒකම පටලන්න අවසාන සිංහල රජු කවුද කියල අහපු වෙලාවලුත් තිබුනා. ඒ කියන්නෙ අන්තිම වෙනකොට උඩරට රාජධානියෙ සිංහල රජවරු නොහිටියත් මුලින් යොදපු යෙදුම දිගටම එහෙමම භාවිත කරන්න ඇති.
//සයුරි අනිවාර්යයෙන් පාතරට වෙන්න ඕන//
Deleteහරියට හරි...පාතරට තමා. තවත් සරලව කිව්වොත් දකුණේ :)
එහෙනම් එකත් එකටම ඒ සීයා ඌව වෙල්ලස්ස පැත්තෙන් ආපු කෙනෙක් වෙන්න ඕන..මට මතකයි මම ආත්තම්මගෙන් අහුවම සින්හලේ කියන්නෙ මොකද්ද කියලා, එයා මොකද්ද දුර පලාතක් ගැන කිව්වා. එහේ ගිහින් හිටපු කෙනෙක් හරි එහෙන් ආපු කෙනෙක් හරි කියලා තමයි කිව්වේ..
මෙහෙම වැදගත් තොරතුරක් ඉතින් රවි අයියගෙන් ලැබුනොත් මිසක් නැත්නම් කොහොම දැනගන්නද..
DDT, අපෝ ඔය රජවරු දෙන්නා පටලවන ප්‍රශ්නේ නම් මටත් මතකයි
'ගම් පෙරළිය' කාලෙට ගියා වගේ දැනුනා.:)
ReplyDeleteහැම කෙනෙක්ම තමන්ගේ පරම්පරාවේ, සටහනක් හදනවානම් හොඳයි කියන අදහස මේ ලිපිය කියවද්දි හිතුනා. නැත්නම්, මේ වගේ අය තමන්ගේ නෑ පරපුරේ හිටියබව කට්ටිය දන්නේ නෑනේ. ඉස්සරහට එන අයට ඒ වගේ දෙයක් ඉතුරු කරන එකත් වටිනවා.
ඒක නම් මසුරන් වටිනා අදහසක්. එත් එක විවේචනයක් එන්න පුළුවන් නේද පරම්පරාවේ පුරාජේරුව පෙන්නන්න යනවා කියල.
Deleteමටත් හිතිලා තියන වැඩක් තමයි ඕක. පොඩි කාලේ සෙල්ලං කරපු නැදෑකං තියන ළමයි දැන් කොහේද කියලා දන්නේ නෑ. අපේ අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ ළමයි අපි දන්නවා, නමුත් එක පුරුකක් උඩට ගියහම, අපේ සීයලගේ, ආච්චිලගෙ සහෝදර සහෝදරියන්ගේ ළමයින් සහ ඔවුන්ගේත් ළමයින් ගැන අපි දන්නේ නෑනේ.
Deleteමෙහෙමයි wmk, ඕක බ්ලොග් වල ලියන්න නෙමෙයි අඩුම ගානේ තමන්ගේ ළමයින්ටවත් දැනගන්න.
http://www.rootsweb.ancestry.com/~lkawgw/මේ තියෙන්නෙ ඔය කියන පවුල් ගස් ඇතුලත් කරල අනාගතයට ඉතිරි කරන්න පුලුවන් තැනක්. මෙහේ මුතුන් මිත්තන්ගේ තොරතුරු ලබාගන්න ancestry.com අඩවිය පාවිච්චිකරනව කට්ටිය. මෙහේනම් පින්තූර පවා ඇතුලත් කරනව. ඔය තියෙන්නෙ ලංකාවෙ තැනට පාර.
Deleteඅන්න හොඳ අදහසක් පොඩ්ඩිගෙන්...මමත් එකඟයි....අපේ හිච්චි එවුන්ට දැනගන්න තමන්ගෙ පවුලෙ ඉතිහාසය දන්න කියන අයගෙන් අහල ලියල තිබ්බ නම් ඇත්තටම වටිනව.
Deleteතිසර කිව්ව වගෙ ප්‍රසිද්ධ කරන්නමත් නෙවෙයි පවුලෙ අයට කියවන්නවත් අඩුම තරමෙ.එහෙම තොරතුරු හොයන එකත් හරියට මැණික් පතලක් බහිනව වගෙ වෙන්න පුලුවන්. පොළව යට හැංගිලා මොන තරම් වටිනා රතු කැට, නිල් කැට, පුෂ්පරාග, වෛරෝඩි තියනවද කියල අපි දන්නෙ නෑනෙ පොළව මතුපිට ඉඳගෙන.අන්න ඒ වගෙ..නොසිතූ වීරූ රසවත් තොරතුරු මතු වෙන්න පුළුවන්. පෙම් කතා, වීර ක්‍රියා, කැප කිරීම, සහෝදර ප්‍රේමය ඔන්න ඔය වගෙ නොයෙක් එව්ව..
What Gramps?...... Our family history?...who the hell has time to read that shit?
එහෙම අහගන්න වෙයි බොහෝවිට..ඒත් ඔය අතරෙ ඒ ඉතිහාසය ආසාවෙන් කියවල දිගටම ඒ කතාව ලියන්න බාරගන්න කැමති පොඩි එකෙක් හරි එකියක් හරි ඉන්නත් පුළුවනි...
Our family history..oh cool…..can I read it ?
එහෙම පවුල් ඉන්නවා අදටත් ..කමෙන්ට් ටික සමග පෝස්ට් එක කියවන්න.. පවුල් නාමකරණය ගැන පවා විස්තරයක් තියෙනවා මේ පෝස්ට් එකේ..විනාඩි 30 විතර තියෙන වෙලාවක විතරක් බලන්න..
Delete_____________________________________________________
අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )
සයුරි18 juin 2013 20:24:00 UTC+5:30
සහන්, පෙළපත් නාමය සහ පවුල් නාමය අතර වෙනස මොකද්ද? පෙළපත් නාමය කිව්වේ වාසගමද?
ෆර්නෑන්ඩස්ලගේ දුවණියන්ට " සයුරි හෝ තාරකා " කියන නම තමන්ගේ දුවණියටද දෙන්න පුළුවන්..
උදා :- දිසානායක මුදියන්සේලාගේ සයුරි තරූෂි ගුරුසිංහ .. මේ ක්‍රමය නිසා පවුලේ දුවණියන් කාගේ කව්රුන්දැයි හඳුනා ගන්න පුළුවන් ...මේ සයුරිගේ දුවෙක් කියන්න එතකොට අපි දන්නවා..මට පුළුවන් බය නැතුව මගේ පුතාව සයුරිගේ දුවෙක්ට විවාහ කරලා දෙන්න..:P
හැබැයි පුතුන් ගෙනියන්නේ පෙළපත් නාමය විතරයි , පවුල් නාමය අත් හරිමින් පෙළපත් නාමය පමණක් අගට භාවිතා කරනවා..
( ලංකාවේ අය මේ ක්‍රමේට නම් දාන්නේ නැහැ.. )
ඉතිරියත් කියවන්න ...
_________________________________________________________
නියම අදහසක් තමා ඒකනම්..මමත් කැමතියි එහෙම පුලුවන් නම්..අපේ එකම වාසගම තියන ගොඩක් අයගෙ පරම්පරාවල ඉහලට ගියොත් එතන එකම ප්‍රධාන පුරුකක් ඇති කියලා හිතෙනවා :)
Deletewmk කියන දේත් වෙන්න පුලුවන්, ඒත් එහෙම නොහිතෙන විදිහට මේ කාගේ කවුද කියලා පෙන්නන්න විතරක් ඕක කරන්න බැරි වෙයිද?
ඔය රෝස කුමාරි දීලා තියන සයිට් එකට ඕනම කෙනෙක්ට විස්තර ඇතුලක් කරන්න පුලුවන්ද?
/What Gramps?...... Our family history?...who the hell has time to read that shit?//
මෙහෙම ඇහුවොත් එහෙම පපුව හෝස් ගාලා යාවි අප්පා :D
//ඒත් ඔය අතරෙ ඒ ඉතිහාසය ආසාවෙන් කියවල දිගටම ඒ කතාව ලියන්න බාරගන්න කැමති පොඩි එකෙක් හරි එකියක් හරි ඉන්නත් පුළුවනි//
මේ අපි වගේ නේද :)
ඔව්, ඇත්තටම සහන්ගේ ඒ පෝස්ට් එකේ සෑහෙන වැදගත් කමෙන්ට්ස් ටිකක් තිබුනා
සයුරිගේ පුංචි අත්තගේ විස්තරේ කියවද්දි මගේ හිතේ ඇඳුනේ ඉංග්‍රිසි ෆිල්ම් වල ඉන්න කැට් ලේඩි කෙනෙක්ව... හි හි...
ReplyDeleteඅපේ ආතා, ඒ කියන්නේ අම්මගේ අම්මගේ තාත්තා, මම ඕලෙවල් කළා කියලා කියපු ගමන් අනිත් පැත්තට කිව්වේ “ එහෙනං දැන් දෙමළ පන්තියකට පලයන්” කියලා... ඒ දෙදාහේ... ආතා එතකොටත් දැනගෙන හිටියේ රට යන්නෙ මොන පැත්තටද කියලා... මාත් ඔලුව වැනුවට ඒක කරගන්න බැරි උනා... මං පොඩි කාලේ ඉතිං ආතා පස්සෙම තමයි... එච්චරයිනේ හිටියේ.. හි හි...
මැරෙනකම්ම මහගෙදර ලයිට් බිල ගෙව්වේ ආතා... කියන විදියට නම් ආතා වැඩ කරපු කාලෙට වඩා කාලයක් පෙන්ෂන් එක අරන් තියෙනවා... කොට්ටාවේ ටවුමේ අපේ ගේ හරියේ නගර සබාවට කාණු සුද්ධ කරන්න, කුණු අයින් කරන්න කියලා දෙයක් නම් තිබ්බේ නෑ ආතා ඉන්නකං... ආතා මැරෙනකොට අවුරුදු 105 ක් විතර... ඇඳගෙන වැටිලා උකුල් ඇටේ බිඳුනා.. ඊට පස්සේ සතියක් විතර ඉස්පිරිතාලේ හිටියා... අපේ තාත්තා, මාමලා එහෙම ළඟ හිටියේ.. ( අපේ තාත්තා අම්මා එක්ක යාලු උනාම අම්මලගේ ගෙදරින් කැමැත්ත අරන් දුන්නේ ආතලු.. හි හි) ඊට පස්සේ ගෙදර එක්කන් ආවා.. අපි දැනගෙන හිටියා ආතා සනීප වෙන් නෑ කියලා.. එක්තැන් වෙලා සතියෙන් ආතා නැති උනා... බොහොම හොඳ සිහියෙන්.. ලොකු ආච්චි පිරිත් කියනකොට අත් දෙක දොහොත් මුදුන් තියලා වැන්ඳලු.. ඊට පැය දෙකකට විතර පස්සේ නැති උනේ.. ආතා ගැන මරු කතා ටිකක් තියෙනවා... පස්සේ වෙලාවක ලියන්නං...
/ අපේ ආතා,ඒ කියන්නේ අම්මගේ අම්මගේ තාත්තා,/
Deleteඅම්මගෙ අම්මගෙ තාත්තනං බොලේ ආතා නෙවෙයි මුත්තා වෙන්න ඕන :)
අපේ සියත් ඒ කියන්නේ තාත්තගේ තාත්තා නැති වුනෙත් වැටිලා.වයස 87 යි. සියා හරි මහතයි. අන්තිම දවස් වලත් බස්තියම අරන් යනවා. කිව්වට අහන්නේ නෑ එක තැනක ඉන්න කියල. අන්තිමේ කොහොම හරි වැටිලා ටික දවසක් බේත් කල. ඊට පස්සේ ගෙදර ආවා. වැඩිම වුනොත් දවස් 3නක් විතර ඉන්න ඇති සියා නැති වුනා. අනේ මට හොදට මතකයි. හවස් වරුවේ නැති වුනේ. නැති වෙන්න පැය භාගෙකට විතර කලිනුත් අපි කතා කරලා ආවේ. එතකොට හැබැයි කතා කලේ නෑ. ඇස් වලින් කදුළු බේරුනා. හැබැයි වැඩිය දුක් වින්දේ නම් නෑ.
Delete//ඉංග්‍රිසි ෆිල්ම් වල ඉන්න කැට් ලේඩි කෙනෙක්ව//
Delete:D
ඔයාලගෙ ආතා නම් වාසනාවන්තයි වැඩිය දුක් නොවිද අවසන් ගමන් යන්නේ එහෙමත් කෙනෙක්. මට හිතෙන විදියටනම් වැඩිපුරම දුක් විදින්නේ ගැහැණු අය.
//නැති වෙන්න පැය භාගෙකට විතර කලිනුත් අපි කතා කරලා ආවේ. එතකොට හැබැයි කතා කලේ නෑ. ඇස් වලින් කදුළු බේරුනා.//
අනේ පව් සමනලී..එයාලට ඒ වෙලාවට මොනවා හිතෙනවා ඇත්ද
//අම්මගෙ අම්මගෙ තාත්තනං බොලේ ආතා නෙවෙයි මුත්තා වෙන්න ඕන :)//
හැබෑ නේන්නම්..අත්තා, මුත්තා, කිත්තා, කිරිකිත්තා etc..අනුව 'මුත්තා' වෙන්න ඕන නේද? :)
අත්තා කියනනම අපිට ටිකක් නුහුරුයි. අම්මගෙ/තාත්තගෙ අම්ම ට නම් කියන්නෙ ආත්තම්ම එහෙම නැත්නම් කිරිඅම්මා කියල. ඉන් එහා ඉන්න අයව දකින්න ලැබිල නෑ.
ReplyDeleteහොඳ වෙලාවට රත්ති සූප්පුව අරන් ගියේ :D ඒ සූප්පු කතාව දකිද්දි මතක් වුනේ, අපේ ගෙදර තිබුන දෙපැත්තෙන් සූප්පු දෙකක් ගහන්න පුලුවන් වීදුරු බෝතලයක්. ඒකෙන් කවුරු බිව්වද කියන්න නම් දන්නෙ නෑ. හොයල බලන්න ඕනෙ තියනව ද කියල.
එලකිරි මුදවපුවා මේ මෑත කාලෙක මෙහෙ තිබුන. බෝතල් වලට දාලයි තියන්නෙ. මට නම් ඒ රස එච්චර ඇල්ලුවෙ නෑ.
//අපේ ගෙදර තිබුන දෙපැත්තෙන් සූප්පු දෙකක් ගහන්න පුලුවන් වීදුරු බෝතලයක්.//
Deleteඅපේ ගෙදරත් පරණ අල්මාරියෙ තිබුනා එහෙම එකක්. චූටි මාමා ඒකෙ කිරි බිබ්වලු අතදරුවා කලෙ. මැදින් නිකන් පිම්බිල වක ගැහිච්ච කෙළවරවල්වලට යනකොට හීන් උනු හැඩයක් තිබුන, වීදුරුවලින් හදපු එකක්. ඒ අල්මාරියත් එක්කම ඒක මාමා ගෙනිච්චා. ඒයා ළඟ ඒක තාම තියෙනවා මගෙ හිතෙ. පුළුවන් උනොත් ෆොටෝ එකක් ගහගන්න ඕන.
ඔය එලකිරි කල් තියාගන්න කිරිවලට කියන්නෙ ‘කල්කිරි‘ කියලද. මම නම් ඔය කිරිවලට කැමති නෑ කොහොමටත්, දකිනකොටත් මට අප්පිරියයි.
Deleteඅන්න හරි. ඒ බෝතලේ DDT කියාපු විදිහෙම එකක් තමයි.
Deleteඑලකිරි මුදවපුවට කියන නම නම් දන්නෙ නෑ. අපිත් එක්ක වැඩ කරපු කෙනෙක් තමයි කිව්වෙ මෙහෙම දෙයක් තියනව කියල. ඒ මෑන් හිටියෙ අපේ ගෙවල් වලට කිලෝමීටර් හත අටක් දුරින්. එහෙ තමයි ඒ කිරි හදන්නෙ. හෝලික්ස් බොතල් වගෙ බෝතල් වල දාල තියන්නෙ. ඒවා පැණි හරි සීනි හරි එක්ක කනවා.. අපි එක වතාවක් ගෙන්නගෙන බැලුවා. කොහොමත් මී කිරි වලට වඩා ගොඩක් වෙනස්. ටිකක් දියාරුයි වගේ. මටත් පොඩි අප්පිරියා ගතියක් තමයි දැනුනෙ.
(කල්කිරි කියන්නෙ කඩවල එහෙම තියන සීල් කරපු එලකිරි බෝතල් ද කොහෙද.)
ඔය දෙපැත්තෙන් සූප්පු ගහපු බෝතල් හදන්නේ නිවුන්නුන්ටද දන්නේ නෑ නේද? :D
Deleteකල්කිරි කියන්නේ එලකිරි කල් තියාගත්තම තමයි. හැබැයි දියර විදියට. මුදවපුවා නෙමෙයි. මුදවපුවා බෝතල් වල දාලා මම කාලා නැහැ. හැබැයි මුදවපු එලකිරි මුට්ටි තියනවා. එදාම කන්න ඕනේ. එතකොටනම් එලම කිරි..
දරුමල්ලෝ නැති උනාම අන්තිමකාලේ නම් ගොඩක් අසරණ වෙනවා තමයි. දරුමල්ලෝ හිටිය උනත් එහෙම වෙන්නෙ පුළුවන්, ඒත් ළමයි වැඩි දෙනෙක් පුලුවන් හැටියට අම්මලට තාත්තලට සලකනවා.
ReplyDelete//ඒත් ළමයි වැඩි දෙනෙක් පුලුවන් හැටියට අම්මලට තාත්තලට සලකනවා.//
Deleteඒක ඇත්ත...අපේ රටේ නම් තාමත් කොහොම කොහොම හරි සලකන්න බලනවා මිසක් වෙන රටවල් තරම් තාම පිරිහිලා නෑ මම හිතන්නේ
මම මේ ඔක්කම විස්තරේ හිතින් මවා ගත්ත. දැන් එතකොට සයුරිව බයකරන්නනම් රත්තී එනව කිව්වම හරි :D ඇත්තනේ සයුරියො..ආත්ත බලන්න ඇති මේකි මේ ඉංජිනේරුවෙක් වෙලා ගෙවල් හඩන්නයැ..ඒ වගේද නඩුකාර හාමුදුරුවො ඉස්සරහ බස බස ගාලා නීති කතාකරනැඑක කියල....
ReplyDelete//දැන් එතකොට සයුරිව බයකරන්නනම් රත්තී එනව කිව්වම හරි :D//
Deleteආයිත් අහලා :D හිහි..
ආ මට ඔයාගෙ නම දැක්කම මතක් උනේ..පුන්චි ආත්තගෙ නම "රෝසින්" :))
මේ සිංහල ඉතිහාසයේ සයුරිට කෙලින්ම සම්බන්ධ කොටස වෙන්න ඕනෙ.
ReplyDeleteමමත් හිතින් අතීතයේ කරක් ගහලා ආවා මේක කියවලා.
//මේ සිංහල ඉතිහාසයේ සයුරිට කෙලින්ම සම්බන්ධ කොටස වෙන්න ඕනෙ. //
Deleteඑහෙමයි එහෙමයි :D
සීයාලා ආච්චිලා ගැන දැන් තියෙන්නේ මතකයක් විතරයි ඉතුරුවෙලා. හැබයි ඒක තාමත් සුන්දරයි.
ReplyDeleteඅක්කාත් අපේ යුනි එකේ කියලා මම දන්නේ අද නේ. ගොඩක් සතුටුයි.
ආ..පූමත් එහෙද? නියමයි.
Deleteමට අපේ කිරිඅම්මලා දෙන්නව මතක් වෙනෝ... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කිරි අම්මලා කියලා කුරුනෑගල පැත්තේ අයත් කියනවා..
Deleteහිටපු එකම කිරි අම්මත් මේ ලෝකෙන් ගිහින් අවුරුද්දක් විතර වෙනවා
ReplyDeleteහ්ම්ම්..
Deleteඅපේ අත්තම්මලා දෙන්නානම් තවම ඉන්නවා. ඒත් එක්කෙනෙක්ට හුගක්ම වයසයි
සයුරිගේ ඉහිහාස පාඩමේම කොටසක් වගේ මේ පවුල් පසුබිම් කතන්දරයත්. අපි අත්තා කිව්වේ වයසක පිරිමි අයට.
ReplyDeleteඅත්තා නෙමෙයි නලින් අයියේ..මේ "ආත්තා". ආත්තම්මා කියන එක කොට කරලා හදපු එකක් වෙන්නත් පුලුවන්
Deleteසයුරිගේ කතාවත් එක්ක මටත් අතීත කතා මතක් වුනා.....
ReplyDeleteඑහෙනම් ඒකත් හොදයි :)
Deleteඅනේ මට සිබිල් වෙත්තසිංහගේ පුංචි කාලෙ කතන්දර පොත් මතක් වුණා,වැනියං කලු වැනීයං-නොමියෙන කලු දූ එහෙම..!!!
ReplyDeleteඒ කතා වලට මමත් හරිම ආසයි අප්පා..කොණ්ඩ කැවුමක කතාවකුත් තිබුනා මතකයි
Deleteඇත්තටම ගෝලීයකරණය වෙච්ච ලෝකෙට වැඩක් නැහැ වගේ පෙනුනට අපි කවුරුත් ආසයි තමන්ගේ පවුල්වල උන්න අය ගැන දැනගන්න . අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියෝයි ඒ අයගේ ළමයිනුයි ඇරුනම [ උනුත් භාගයක් විතර දැන් දැක්කේ නැහැ අවුරුදු ගානකින් . මාක් සකර්බර්ග් ගොය්යට පින්දෙන්න ඕන කීපදෙනෙක් මෑතදී ආයේ නෑකම් අලුත් කරගත්ත .]
ReplyDelete//අපි කවුරුත් ආසයි තමන්ගේ පවුල්වල උන්න අය ගැන දැනගන්න//
Deleteඅනේ ඔව් අප්පා..මමනම් ගොඩක් දුරට අපේ අත්තම්මගේ සහෝදරියන්ගේ ලමයි එහෙමත් දන්නවා. වැඩිය මුනගැහෙන්නේ නම් නැහැ
ඕන් ... යාන්තම් සයුරි ශතවර්ෂ ගානකින් වර්තමානෙට ඇවිත්.
ReplyDeleteඔව්, මේ පළාතෙ මමත් වැඩි පුරම අහල තියෙන්නෙ ආත්තම්මා කියල කියනව. අනෙක පළාත් බේදයක් නැතුව ඉස්සර මිනිස්සු හිතන් ඉඳල තියෙන්නෙ තැපැල් පියුන් කෙනෙක් හරි කමක් නෑ, ආණ්ඩුවෙ රාජකාරියක් කරන ඉලන්දාරියෙක් පවුලකට සම්බන්ධ කරගන්න එක ලොකු දෙයක් කියල. එකක් පැන්ෂන් පඩිය, අනෙක නම්බුව. ඒත් අද වෙන ඒව ඒ කාලෙ මිනිස්සු දැක්කනම් ...
//අන්තිමේදි ඒ වැඩේ බාර ගත්තේ දරුවෙකුත් එක්ක තනි වෙච්ච, පුංචි ආත්තාගේ දුරින් නෑ වෙන කෙනෙක්. ආත්තගේ ගෙදරත් එයාටම ලියලා දුන්නා. දෙන්නාට දෙන්නා උදව් කර ගත්තේ එහෙමයි.//
ඔය සයුරිලගෙ ආත්තම්මා කරපු වැඩේ හරි වටිනවා. නැති බැරි මනුස්සයෙක්ට ඒක කොච්චර ලොකු දෙයක්ද. මම එහෙම කිව්වෙ දැන් මාස හත අටකට කලින් අපේ ලොකු අම්ම කෙනෙක් නැති උනා. එයා බැඳල නෑ. ආණ්ඩුවෙ ජොබ් එකකුත් කළා. හොඳට සල්ලි තිබ්බා. එයාගෙ අක්කත් බැඳල නෑ, පෙන්ෂන් ගිය ටීචර් කෙනෙක්. එයත් අවුරුදු දෙකකට විතර කලින් නැති උනා. ඉතිං අර ලොකු අම්මා අන්තිමට මැරුනෙ ගේයි ඉඩමයි ළඟ තිබුනු ලොකු පිරිවෙනකට ලියල. මාතර ටවුන් එකට විනාඩි පහෙන් පයින් එන දුර, වටින ඉඩම. ඔන්න ගිය මාසෙ හාමුදුරුවො අපේ තව නෑයෙක්ට ඒ ගේයි ඉඩමයි ලක්‍ෂ හැත්තෑවකට විකුණල. හයියෝ සන්සාරෙ !
\\\ඔන්න ගිය මාසෙ හාමුදුරුවො අපේ තව නෑයෙක්ට ඒ ගේයි ඉඩමයි ලක්‍ෂ හැත්තෑවකට විකුණල. හයියෝ සන්සාරෙ ! \\\
DeleteDDT බෞද්ධ කෙනෙක් නම් කරන්න තියෙන හොඳම දේ හිතින් අත් හරින එක ඒ ගේයි ඉඩමයි.තමන්ගේ ඥාති කෙනෙක්ගේ ඉඩමක් නිසා තමන්ට උනත් අයිති වෙන්න තිබුණා නේද කියලා හැගීමක් එන එක සාදාරනයි. ඒ උනත් ඒ සිතුවිල්ලේ දිගටම ඉඳීමෙන් වෙන්නේ ඔයාටම අගතියක්...සැබෑ අයිතිකාරයා අත් හැරපු දේකට ඔයා කෙලේසයක් ගොඩ නගා ගන්නේ ඇයි?
තව දේවල් ටිකක් කියන්න තියේ..ඒත් එළිපිට කියන එක හරි නැහැ.. මට මේල් එකක් එවන්නකො පුළුවන් වෙලාවක
silentsahan@gmail.com
බුදු අම්මෝ .... සහන් මම එහෙම දෙයක් අදහස් කලේ නෑ. මම කොහොමටවත් නෑයොත් එක්ක වැඩිය ආශ්‍රයක් නෑ. ඔය මිනිස්සු ආශ්‍රය කළේ අපේ අම්මා විතරයි. අනෙක එයාලව ළඟින් ඇසුරුකරපු නෑයො තව හුඟක් හිටියා. මම පොඩි කාලෙ නම් හැම සෙනසුරාදාම වගේ ඒ පැත්තෙ නෑ ගෙවල්වල ගියා අම්මත් එක්ක. ඒ කිට්ටුව අපේ අම්මලගෙ නෑයො හුඟ දෙනෙක් හිටියා. ඒ අය හරිම ආදරෙයි. ඒත් මම වයසින් වැඩිවිය වෙද්දි මොන හේතුවකටද මන්දා මට නෑයෝ කාවවත් දිරවන්නෙ නැතිව ගියා.
Deleteඋඹ එහෙම හිතුව එකත් සාධාරණයි, මොකද අද සමාජෙ හැටි එහෙම තමා. ඒත් උඹ මාව හරියට අඳුරන්නෙ නෑ බං. මම පහසුවෙන් ලබාගන්න තිබුනු හුඟක් දේවල් අතෑරපු කෙනෙක්. අනුන්ගෙ දේවල් ගැන තියා මම මගේ දේවල් ගැනවත් දුක්වෙන්නෙ කම්පා වෙන්නෙ නෑ. මගේ යැපීමට විතරක් සෑහෙන සුළු මුදලක් විතරයි මම උපයන්නෙත්. ඊට වඩා මට අවශ්‍ය නෑ. මම පවුලෙ බාල පිරිමියා නිසා බොහෝ විට අපි ඉන්න ගේ ඉඩම උනත් මට ලැබෙන තත්වයක් තියෙන්නෙ. ඒත් මට ඒවට කිසිම ආසාවක් නෑ. මට උවමනා පොතක් පත්තරයක් කියවගෙන නිදහසේ ජීවත් වෙන්න. වස්තුව ගොඩගහන්න දුවන අතිධාවනකාරී ජීවිත මට පේන්නෙ මහ පිස්සුවක් විදියට. මේ ඉන්න ටික කාලෙට මොන රෙද්දකටද බං ඕවා. මැරෙනකොට ගෙනියන්නයැ.
මම සයුරිට ඔය කතාව කිව්වෙ දරුවන් වෙනුවෙන් ජීවත් විය යුතු අසරණ උනු දුක් විඳින කෙනෙක්ට එහෙම පිහිට වෙන එක ඇත්තටම පිනක්, හාමුදුරුවන්ට පූජ කරනවට වැඩිය. හාමුදුරුවො ඒ සල්ලිවලින් දැන් තියෙන වාහනේ විකුණල තව අළුත් වාහනයක් ගනියි. පිනට දුන්නු දේ ගැන ආයෙ හිතන්න දෙයක් නෑ තමා, ඒත් බොරු ශ්‍රද්ධාවකට මුවාවෙලා ඔය සිද්ධි දෙකේ වෙනස හඳුනගන්න බැරිවෙන තරමට මෝඩ වියයුතු නෑ අපි.
\\\පිනට දුන්නු දේ ගැන ආයෙ හිතන්න දෙයක් නෑ තමා, ඒත් බොරු ශ්‍රද්ධාවකට මුවාවෙලා ඔය සිද්ධි දෙකේ වෙනස හඳුනගන්න බැරිවෙන තරමට මෝඩ වියයුතු නෑ අපි. \\\\
Delete++++++++++++++++++++++++++++++++
ඇත්තටම සමහර දේවල් එළිපිට කියන්න බැහැනේ DDT.දේශද්‍රෝහී විජාතික බලවේග කියලා හිතාවිනේ බලන අය. පැහැදිළිවම මම නම් දෙන්නම් වාලේ දෙන්නේ නැහැ.. දානය කියන්නේ එකක් , නැති බැරි කෙනෙකුට පිහිට වීම කියන්නේ තව දෙයක්.
දාන දෙනවා කියලා බල්ලන්ට ආප්ප අරන් දීලා වැඩක් තියේද ...? වංචාකාරයන්ට රැවටිලා වැඩක් තියේද පිං පිණිස කියල...? මම නම් කිසිම විදිහකින් එවැනි වැඩ කරන්නේ නැහැ..( මෙන්න බුදුනි මල් , ඔන්න අපි ගියා වගේ දාන දීලා වැඩක් තියේද ) දෙන්න සුදුස්සෙක් පරිණත වෙනකම් සියලු දේ මගේ බාරයේ තියාගන්නවා.ඊට පස්සේ සියලු දේ පවරා දෙනවා. මම එහෙමයි.
පව් උනාද , පින් උනාද , අරයා තරහා උනාද , මෙයා තරහා උනාද කියලා මම සළකන්නේ නැහැ..නැත්නම් වැඩක් කරන්න බැහැ . සත දහයටත් මිනිස්සු ගන්න පුළුවන් යුගයක් මේක DDT..
පිනට දීපු ඉඩම නිසාම නඩුවක් වැටිලා පාරට වැටෙන්න පුළුවන් අපිව..ඒ නිසා දෙන්නම් වාලේ දෙන්න එපා.නියම සුදුස්සෙක් ආව දාට දෙන්න දෙයක් නැති වේවි..!
//තැපැල් පියුන් කෙනෙක් හරි කමක් නෑ, ආණ්ඩුවෙ රාජකාරියක් කරන ඉලන්දාරියෙක් පවුලකට සම්බන්ධ කරගන්න එක ලොකු දෙයක් කියල//
Deleteසහතික ඇත්ත. කාලෙත් එක්කම ඒවා ටික ටික වෙනස් වෙලා.
දාන ගැනනම් ඉතින් මමත් වඩා කැමතියි නැති බැරි කෙනෙක්ට දෙන්න. ඔයාගෙ ලොකු අම්මා පිරිවෙනට දෙන්න ඇත්තේ සාසනයට දෙන දානයෙන් වඩා ආනිසන්ස ලැබෙනවා කියලා පිලිගැනීමක් තියන නිසාද දන්නේ නෑ..
අහා ... මට දැන්නෙ වැටහුනෙ සහනුත් වරදවා වටහා ගන්න ඇත්තෙ ඇයි කියල.
Deleteලොකු අම්මා කිව්වට ඒ අපේ අම්මගෙ එක්කුස උපන් සහෝදරියක් නෙවි සයුරි. එයාට හිටියෙ අවිවාහක එක සහෝදරියක් විතරයි.
//සාසනයට දෙන දානයෙන් වඩා ආනිසන්ස ලැබෙනවා කියලා පිලිගැනීමක් තියන නිසාද දන්නේ නෑ//
දානය නම් දානයම තමයි. දෙන්න නම් ඒ දේ අත්හරින්න එපාය. එහෙම බැලුවම කොයි දානෙත් එකයි. ඔය ශාසනයට දෙන එක වඩා ආනිශංස ලැබෙනවය කියන කතාව පස්සෙ කාලෙ දුශ්ශීල හාමුදුරුවරු තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න අටවගත්ත කතාවක් වෙන්න ඕන. මෝඩ ගෑනු මනුස්සයෙක් රවට්ටල රත්තරන් ගන්න හදපු හාමුදුරු කෙනෙක්ට අන්දරේ හොඳ පාඩමක් උගන්නපු කතාවකුත් තියෙනව නේද.
මෙතන තියෙන්නේ ශීලයක් පුරණ කෙනෙකුට දෙන දානයෙහි ආනිසංස ඉහළයි කියන දේ.. " ආහුණෙයියෝ , දක්කිනෙයියෝ " වීමේදී දානයේ ආනිසංස වැඩියි..පෘතග්ජනයෙක්ට දෙන දානයට වඩා එක් සෝවාන් උත්තමයෙක්ට දෙන දානය උතුම්. සෝවාන් උත්තමෙයෙක්ට වඩා එක් අනාගාමී උත්මයෙක්ට දෙන දානය උතුම් ..( මේ ආදී වශයෙන් පසේ බුදු , ලොව්තුරා බුදු දක්වා )
Deleteඒ නිසා තුන්කල්හි පවත්නා බුද්ධඃප්‍රමුඛ මහා සංඝයාට දෙන දානය උතුම් වෙනවා , මන්ද ඔවුන් ශීලයක් පුරමින් සසරෙන් එතෙර වීමේ අදිටනෙන් සිටිනා උතුම් පුද්ගලයන් නිසා..
ඔන්න ඕකයි ඔතන නියම තේරුම..
දානය දෙන්න එතන කිසි ගැටළුවක් නැහැ.හැබැයි අවබෝදයෙන් යුතුව දෙන්න..
01.තදින් ලෝබ සහගත සිතක් තියේ නම් කාට හෝ දානය දෙන්න..( ඕනෑම කෙනෙක්ට/තිරිසනෙක්ට/අමනුෂයෙක්ට ) එතැනදී වැදගත් වෙන්නේ සිතෙහි හට ගත්ත ලෝබය යටපත් කිරීම .. ( ඉතාම හික්මීමෙන් ඉන්න අමනුෂ්‍ය බලවේගත් ඉන්නවා සීලයන් පුරමින් මේ අප අතරම ඉන්න.ඔවුන්ට ඕනේ මේ නරා වලෙන් එතෙර වීම. නරා වලවල් දෙකකින් එතෙර වෙන්න ඕනේ )
02.තමාගේ සිත තුල දැඩි ලෙස ලෝබය ගොඩ නැගී නැත්නම් සිහි බුද්ධියෙන් යුතුව දානය දිය හැකියි . උපකාරයක් අවශ්‍ය තැනට නොපිරිහෙලා තමන්ගේ දායකත්වය දෙන්න පුළුවන්.
03.මේ සියල්ල අවසානයේ තමාගේ සිත සැනසීමට පත් වේ නම් එයයි විය යුත්තේ ..
සහන් උඹ බණත් කියනවද. හෙහ් හෙහ් හෙහ් ...
Deleteදැන් කොහෙද අනේ සිල්වත් අය, ඉන්න තරමක් ඉන්නෙ ගිහියොන්ටත් හපන් උන්නාන්සෙල. ඉතාම අතලොස්සක් ගරු කටයුතු හාමුදුරුවරු හිටියත් ඒ අය මේ බලුපොරේට මැදිහත් වෙන්නෙ නෑ. පෙරහරේ ඉස්සරහින්ම ඉන්න උන්නාන්සෙල තමා හොඳටම නරක. ඒත් අවාසනාවට හැම තැනින්ම මිනිස්සු යොමු කරන්නෙ වැරදි තැන්වලට. සිල්වත් හාමුදුරුවරු, සෝවාන් වෙච්ච හාමුදුරුවරු (ඉන්න පුළුවන් උනත්) කෑගහන්නෙ නෑ මම සිල්වත් කියල. අතීතෙට වඩා මහ සංකීර්ණ සමාජයක් අද තියෙන්නෙ. ලාභය තකා තමන්ගෙන් විය යුතු දේ අමතක කරල අළුත්ම දහමක් දේශනාකරන උන්නාන්සෙල තමයි අද වැඩිපුරම ඉන්නෙ. ඉතිං බුදු හාමුදුරුවො ජීවමානව වැඩියත් ඒක තමන්ගෙ පැවැත්මට තර්ජනයක් විදියට දකින අද ඉන්න හාමුදුරුවරු කියයි ශාසනේ විනාශ කරන්න ආපු විජාතික බළල් අතක් කියල. ඕක තමයි ඇත්ත තත්ත්වෙ. ඉතිං කාට කොහොම දන් දුන්නත් අන්තිමට හිතේ සතුට විතරයි ඉතුරු වෙන්නෙ. මේ කාලෙ ඉතින් තම තමන් සිහි බුද්ධියෙන් කටයුතු කිරීම තමයි කරන්න පුළුවන් හොඳමදේ.
@ ddt
Delete//සාසනයට දෙන දානයෙන් වඩා ආනිසන්ස ලැබෙනවා කියලා පිලිගැනීමක් තියන නිසාද දන්නේ නෑ//
මෙන්න මේ කරුණ ඇදුන නිසයි මම කිව්වේ.. සාමාන්‍ය කෙනෙකුට දානයක් දීමයි සංඝයාට දානයක් දීමෙයි වෙනසක් තියෙනවා.. " දක්ඛිනෙයියෝ " වීමේදී ආනිසංස වැඩි..
මේ වගේ කරුණු වලට බලපාන ප්‍රධාන ම දේ තමයි ශීලය කියන දේ. සාමාන්‍ය මනුස්සයෙකුට දෙන දෙයකට වඩා භික්ෂුවකට දෙන දානය විපාක වැඩියි. සතර පාරාජිකාවට පත්වෙලා උපසම්පදාව නැතිවුණ භික්ෂුවකට දෙන දානය වුණත් සාමාන්‍ය පෘථග්ජනයෙකුට දෙන දෙන දේකට වඩා වැඩි ආනිසංශයක් තියෙනවා..... ඒ නිසා දෙන දේ දීම ත් එක්ක ම අත් හරින්න. භික්ෂූන් වහන්සේලා ගේ ශීලය ගැන අපිට වැඩකුත් නැහැ නේ...
Delete"පුංචි ආත්තා" සජීවි සැබෑ ලෝකයේ කෙටිකතාවක්. පුංච් ආත්තගේ චරිතය හඳුන්වා දෙන්න සයුරි ගන්නා වෙහෙස උපරිම සාර්ථකයි හරියටම කෙනෙක්ට එතුමියගේ චරිත ස්වභාවට රූ ස්වභාවය මැනැවින් වටහාගන්න පුළුවන්වෙන්නෙ ඇය ජීවත්වුණ පරිසරයත් එක්කමයි. හරියටම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෙටිකතාවක් කියෙව්වා වගේ හැගීමක්.
ReplyDeleteඇත්තටම ළමයි ගැන වැඩියෙන්ම උනන්දු වෙන්නේ දෙමව්පියන්ට වැඩිය අත්තම්මලා. කොහෙත් එකයි බලන් ගියාම. අපේ අම්මට අප්පච්චිට නැති කැක්කුම තිබුනේ අපි ගැන අපේ අත්තම්මට. ඒක තමයි උන්දැලාගේ වියපත් ආදරේ.
"අනේ මේ කෙල්ලට බැරි උනා නෙව තව ටිකක් මහන්සි වෙලා ඉගනගෙන පෙරකදෝරු ඉස්කෝලෙට යන්න"
බලන්න ආච්ගේ සිහිනය බිඳවැටිච්ච හැටි.
හැබැයි ආච්චි හිටියනම් කියල දෙන්න තිබුණා ඔය පෙරකදෝරු රස්සාව ඒතරම් සුන්දර නැහැ කියලා. මාත් කරන්නේ ඔය රස්සාවමනේ
බොහොම ස්තුතියි ඔබට කතාව ගැන පැසසුවාට...ඇත්ත, ගොඩක් වෙලාවට ආත්තම්මලා මුනුබුරන් ගැන වද වෙනවා හිතින්. ඔබතුමා පෙරකදෝරු රස්සාවට සම්බන්ධ බව මම අදයි දැනගත්තේ :)
Deleteමමත් ඉස්සර එහෙ නිතර ගියත් ඒ දෙන්නා නැති වුනයින් ගියේ නැ කාලෙකින්. කැලේ වැවිලා අර පරණ ගේ කැලේ විසින්ම ගිලගෙන. මේක කියවද්දි මම ඒ හැදුන වැඩුන තැන් වල දැන් ගසුත්...පුංචි කාලේ මතක් වෙලා කඳුලු ආවා. බොහොම ලස්සන සටහනක්. අපි කිරිඅම්මා සහ කිරිඅත්තා කියන්නේ තාත්තගේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්නගෙත් අම්ම තාත්තට අපි නම් ඒ දවස්වල කිවේ ආච්චි සහ සීයා කියලයි.
ReplyDelete//කැලේ වැවිලා අර පරණ ගේ කැලේ විසින්ම ගිලගෙන//
Deleteමෙහෙම දෙයක් දැක්කම පුදුමාකාර දුකක් දැනෙනවා නේද හිතට...ඉස්සර අපි ආදරේ කරපු තැනක් වෙනස් වෙලා තියනවා දැක්කත් එහෙමයි මටනම්..
ආත්තගැන මතක බොහොම රසවත් වගේ..... පීරිසි කෝප්ප කූට්ටම කාලෙන් කාලෙට පිහදාලා, ඔප කරනවා වගේ, ඒ "මතක"ත් බ්ලොග් එකේදි අලුත් කරන්න....
ReplyDeleteඒක හරි :) මතක අලුත් කලේ නැත්නම් මොට වෙලා යනවලු නේ
Deleteඑලකිරි මුදෝපුවම ඌස්නයි...කිරි දියර සීතලයි...ඒ වගේම මීකිරි දියර..ඌස්නයි..මුදෝපුවමසීතලයි..! අපේ ගෙවල් වල දැනටත්,ඉස්සරත්..මස් මාංශ ආහාරයට ගන්නව අඩුයි..මාලු ඇරෙන්න. ඒ නිසා මුදවාපු මීකිරි සතියට දෙපාරක් වත් මුට්ටියක්/බෝතලයක් ගෙනල්ල ආහාරයට ගන්නව. අනික සමහරුන්ට අපිල උනාට..බත් එක්ක කවලම් කරල ආහාරයට ගන්නව අපේ තාත්ත එහෙම..අපේ පොඩ්ඩිත් එහෙමයි. පුන්චිම කාලෙ බත් කවාගන්න අමාරු උනාම කලේ කිරිත් එක්ක දීමයි. යෝගට් කනවට වඩා කොච්චර හොඳද.
ReplyDeleteහරි ලස්සන මතකගොන්නක්...!
එක අතකින් පවුලක ඔක්කොම හොඳින් ඉගෙන ගෙන වැදගත් යැයි සම්මත රැකියාවන් කලොත් අම්මටයි තාත්තටයි ..අන්තිම කාලෙ අසරන වෙන්න වෙනවාමයි..පුලුවන් කාලෙ..දරුවන්ගෙ ...දරුවන්ව ඉස්කෝලෙ/මොන්ටසෝරි එක්කන් යන්න ඕන.ගෙවල් දොරව්ල් බලාකියාගන්න ඕන.
එහෙම බැලුවම පවුලක එකෙක්වත් රස්තියාදු ගහන ගමේ මිනිස්සුත් එක්ක ආස්‍රයක් තියෙන තත්වයක ඉන්න ඕන.
//නැත්නම් ඕක දිගටම කටේ ගහගෙන ඉදලා දත් බොල්ලෑවක් ආවනම් එහෙම අපේ එක්කෙනා මගේ දිහාවත් නොබලන්න ඉඩ තිබුනා :)..// එහෙම වෙන්නෑ හලෝ....සංසාර පුරුදු වෙනස් වෙන්නෑ..මොන විදියට හිටියත් ඉරනම් කාරය එනවමයි..!!
ම්ම් කිරියි බතුයි මමත් කාල තියනවා, ඒක ඇත්තටම රස කෑමක්. ඇයි එතකොට කුරක්කන් පිට්ටුයි කිරියි පැණියි...මතක් වෙනකොටත් ඉන්න බෑ අප්පා :) ඒක නම් අපේ පැත්තේ දාන ගෙවල්වලත් හාමුදුරුවන්ට නොවැරදීම පිලිගන්වන කෑමක්...
Delete//එහෙම වෙන්නෑ හලෝ....සංසාර පුරුදු වෙනස් වෙන්නෑ..මොන විදියට හිටියත් ඉරනම් කාරය එනවමයි..!!//
හෙහෙ...ඒකනම් එහෙම තමයි, ඉරණමෙන් ගැලවෙන්න බැරිලු නේ..හිහි
අපි නම් ඔය අත්තා,පනත්තා කියා කිවේ නැහැ.
ReplyDeleteහැමෝටම කිවේ සියා,ආච්චි කියලායි.එක බෙදුනා ලොකු සියා,පොඩි සියා,වාගේ.(අර රාගම දේවාලේ කපුවෝ සෙට් එක නෙමේ..:P)අනිත් එක අර පන්චි දාන එක දැනගත්තේ ඔයගේ ලින්ක් එක දිගේ ගිහින් තැන්කු එකටත් ඈ...:)
අපෙත් අත්තා,පනත්තා කීමක් නම් නැහැ. ඒත් මම ආත්තම්මා කියන නමටනම් ආසයි, ආච්චි කියනවට වඩා :)මනෝජ් පන්චි දාන හැටි දැනගත්ත එක ගැන හරිම සතුටුයි
Deleteඇත්තට ම ඒ ලෝකය වෙන ම ලෝකයක් වගේ හරි ම සුන්දර යි....
ReplyDeleteඔව් දිලිනි, හරිම සුන්දරයි
Deleteගොඩක් පරණ කාලේ අය පිරිසිදුවට ලස්සනට ඇඳලා ඉන්න ආසයි කියලා මටත් හිතිලා තියනවා..සයුරිගේ පෝස්ටුවත් එකක් ලස්සන මතක ගොඩක් ආයෙත් මතක් වුනා..
ReplyDeleteඑහෙම පිලිවෙලට අදින අය ගොඩක් වෙලාවට බොහොම කෙලින් අය නේද...මම දැකපු ගොඩක් අය එහෙමයි
Deleteහෑ?? කෝ මම ලියපු කමෙන්ට් එක?
ReplyDeleteඈ... :0 මේල් එකක්වත් ආවෙ නෑ නේ තොටියෝ..
Deleteහැමෝම තමන්ගෙ කුඩා කාලෙ ගැන සුන්දර මතක හිතේ මුල්ලක අඩුක්කරගෙන ඉන්නව නේද, ඕන වෙලාවට එලියට ගන්න.
ReplyDeleteමාත් හැදුනෙ ආච්චි ලඟ.ආච්චියි සීයයි එක්ක තමා මම හිටියෙ. තාත්තා මම ඉස්කෝලෙ යන නිසා මාව ආච්චි ලඟ දාල ගියා දුර රස්සාවකට.ඒ නිසා තමයි මම ගිං ඔය අද්දර කරක් ගැහුවෙ.
ඒක ඇත්ත..මම හිතන්නෙ එහෙම අඩුක් කරගන්න බැරි උන මතකත් ගොඩක් ඇති. දැන් නිල් මානෙල් අක්කගෙ ගින් ඔය අද්දර කතා ලියවෙන්නෙ නැද්ද?
Deleteමම නම් පොඩි කාලේ නෑදෑ ගෙවල් වල යන්න වැඩිය ආස නෑ...ඇයි කියන්න නම් දන්නෙ නෑ. ඒ නිසා ඔය වගේ අපූරු මතක මට නම් නෑ!
ReplyDeleteයන්න ආස හිතෙන නෑයෝ වගේම ආස නොහිතෙන නෑයොත් ඉන්නව නෙ
Deleteමගේ කමෙන්ට් එක ආවේ නැද්ද?
ReplyDeleteනැහැනේ අප්පා :(
Deleteමම නම් අපේ අම්මා ගේ අම්මට කිව්වේ අම්මම්මා කියලා, තාත්තා ගේ අම්මට කිව්වේ ආච්චම්මා කියලා. අම්මම්මා නම් මීට අවුරුදු දෙකකට කලින් නැතිවුණා. මගේ සීයලා දෙන්නාවම මම දැකලා නෑ. හැබැයි මම අම්මාගේ අම්මාගේ අම්මාව දැක්කා. එයා නැතිවුනේ වයස 94 දී. එයාට කිව්වේ ලොකු අම්මම්මා කියලා. අම්මම්මා නැතිවුනේ 96 දී. ආච්චම්මට 85 යි, එයාගේ වැඩ තනියම කරන්න පුළුවන් තත්වෙන් තාම හොඳට ඉන්නවා නැන්දලා එක්ක මහගෙදර.
Deleteඅම්මම්මා = අම්මගෙ අම්මා :) ඒකත් හරි බැලුවම..
Deleteගොඩක් තැන්වල ආත්තම්මලා තමයි ගොඩක් කල් ජීවත් වෙන්නෙ නේද..
buhahaha maasa gaanak parakku wela thama me peththe enna hambune....eath posts 2k wage thama miss wela thiyenne :D.....hari santhosayi
ReplyDeletepost 2 k hari dammane ithin :(
Deleteයකඩෝ පහන්-යාය තාමත් අප්-ඇන්ඩ්-රනින්නෙ, මන්ඩිය අප් විතරයි සෑහෙන කාලෙකින් රන් වුනේ නෑ. අද නිකං මකුළු දැල් කඩල දැම්ම, ඒ අස්සෙ තමයි සයුරි අක්ක බලල යන්න ආවෙ. මාව මතකද මන්ද! කතාව මුලදි රසවත් වෙලා අග හරියට එද්දි දුක හිතුන, අපිට වුනත් කවදක හරි ඔය ටිකනෙ, ඉස්සර වගේම ජය ශ්‍රී හොදේ!!!
ReplyDeleteඅප්පද බොල, මේ මන්ඩි නේ...නැතුව නැතුව අපිනම් ඉතින් යලට මහට හරි පෝස්ට් එකක් දානවා. දැන් ඔය ළමයත් ලියන්න ගත්තනම් හොදයි නේද? අර ඉගැන්නිල්ල තාම කරනවද? ඔයාගෙ යාලුවත් පේන්න නැහැ දැන්.
Delete