මිහිඳු රජතුමා මිය යන වෙලාවේ ළඟ ඉඳලා තියෙන්නේ ඔහුගේම පුතා. ඒ නිසා ඉන් පස්සේ රජකම ලැබිලා තියෙන්නේ ඒ කුමාරයාට. ඒත් ඔහු කල්පනා කළා ලු
"හරි විදිහටනම් රජකම ලැබෙන්න ඕනේ යුව රජතුමා ට. ඒ නිසා ඔහුට රජකම බාර දිය යුතුයි" කියලා.
ඉතින් මේ කුමාරයා කිසිම ලෝබ කමක් නැතුව යුව රජ වෙච්ච තමන්ගේ ඥාති සහෝදරයට රජකම පවරලා දුන්නලු. ඔහු "අග්බෝ VI" (ක්‍රි. ව. 741 - 781) නමින් රජ වෙලා තමන්ට රජ කම බාර දීපු කුමාරයව යුව රජ බවට පත් කළා. එහෙම කරලා දෙන්නත් එක්ක ඉතාමත් සමගියෙන් රට පාලනය කරගෙන ඉන්න අතරෙදි තමයි මේ සමගි හවුලට නොහිතපු විදියේ හෙනයක් කඩා පාත් වෙන්නේ.
තමන්ගේ පැවැත්මට පහරක් වදිනවනම් ඒක නවත්තන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති මිනිස්සු එදත් ඉඳල තියනවා. රජුත් යුවරජුත් සාමයෙන් අරගෙන ගිය පාලනය පහරක් උනේ දාමරිකයින්ට. මේ නිසා ඔවුන් මොකද කළේ, කේලම් කියලා දෙසොහොයුරන් කෙටවීම. මේ කෙටවීම ඉතාමත් සාර්ථක උන හින්දා අන්තිමට ඒක නතර උනේ යුද්ධයකින්. ඒ යුද්ධයෙන් යුව රජ පැරදුනා. යුව රජ පැරදිලා පලා යන අතරේ රජතුමා හිතනවා මෙහෙම,
"තමන්ට ලැබුණු රජකම කිසිම ලෝබ කමක් නැතුව මට පවරපු මගේම සොහොයුරා නේද මා පළවා හැරියේ" කියලා. එහෙම හිතලා නැවතත් යුව රජ කැඳවලා වෙනදා වගේම සාමයෙන් රාජ්‍ය කටයුතු කරන්න පටන් ගන්නවා. මේ විදියට අවු. 40 ක් රජකම් කරපු හයවන අග්බෝ රජතුමා ක්‍රි. ව. 781 දී මිය ගියාම යුව රජතුමාට රජකම ලැබෙනවා. ඔහු "අග්බෝ VII" (ක්‍රි. ව. 781 - 787) නමින් රජ වෙනවා. ඔහු තමන්ගේ පුතාව යුව රජ තනතුරට පත් කළත් ඒ කුමාරයා අකාලයේ මිය යනවා. හේතුව පැහැදිළි නැහැ.
තමන්ගේ පුත්‍රයා නැති වූ ශෝකයෙන් කල් ගෙවමින් සිටි හත්වන අග්බෝ රජතුමාත් ඉක්මනින්ම මිය පරලොව යනවා. මේ වෙද්දී මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු භාරව ඉන්නේ හයවන අග්බෝ රජුගේ පුත් "සෙන්පති මිහිඳු" කුමාරයා. ඉන්දියාවෙන් පැමිණිය හැකි සතුරු කරදර ගැන බියක් තිබූ නිසා මන්නාරම සිට රැකවල් කටයුතු කළා කියලයි කියන්නේ. ඉතින් රජතුමාගේ මරණයෙන් පස්සේ මිහිඳු කුමාරයා අග නුවරට ඇවිත් රජුගේ මෙහෙසියට පාලන කටයුතු බාර දීලා නැවතත් මන්නාරමට යනවා. බලයට ලෝබ කරපු මෙහෙසිය මිහිඳු කුමාරයා මරවන්න තැත් කරන අතරෙදි ඒක ආරංචි වෙන මිහිඳු කුමාරයා මෙහෙසිය හිර බාරයට ගන්නවා.
ඔය අතරෙදි මිහිඳු කුමාරයාට දෙපැත්තකින්ම සතුරු කරදර එනවා. උතුරේ කැරළිකාර දෙමළුන් මධ්‍යම පාලනයට විරුද්ධ වී කැරළි ගැසීම නිසා ඒවා මර්ධනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම හයවන අග්බෝ රජතුමාගේ බෑනා කෙනෙක් වන "දප්පුල" කියලා කුමාරයෙක් බලය අල්ලා ගැනීම සඳහා රජුට විරුද්ධව සටනට එනවා. පළමු වතාවේ පැරදිලා පළා ගිහින් දෙවැනි වතාවට රුහුණෙන් සහ මලය රටින් සෙබළුන් එකතු කරගෙන ආපු දප්පුලගේ සේනාව අති මහත් උනත් අනපේක්‍ෂිත වෙලාවක (හිරු නැගීමට පෙර ) ඔවුන්ට පහර දීපු නිසා මිහිඳු කුමාරයා ජයග්‍රහණය කරනවා.
ඒ ජයග්‍රහණයෙන් පස්සේ ඔහු "මිහිඳු II" (ක්‍රි. ව. 787 - 807) නමින් රජ වෙනවා. ඒ වගේම හිර බාරයට ගතිපු රජ මෙහෙසිය තමන්ගේ මෙහෙසිය කරගන්නවා. උණු හින්දා බොන්නත් කිරි හින්දා විසි කරන්නත් බැරිනම් නිවෙනකම් ළඟ තියාගන්න එකනේ කරන්න වෙන්නේ :) මේ දෙන්නට ලැබුන පුතාට යුව රජකම පැවරුවත් ඒකට ලොකු විරෝධතාවක් එල්ල වෙලවා අර කලින් පැරදිලා පලා ගියපු දප්පුලගෙනුත් ඔහුගේ සොහොයුරන්ගෙනුත්. මේ හින්දා නැවතත් යුද්ධයක් ඇති වෙනවා "කොවිලාර" නම් ස්ථානයේදී. ඒ සටනිනුත් මිහිඳු රජතුමා ජය ගන්නවා. ඒත් දප්පුල මොකද කරන්නේ, එතනින් පළා ගිහින් නැවතත් සේනාව රැස් කරන්න පටන් ගන්න එක.
මේ විදියට නොනැවතී සිද්ධ වෙන සටන් නිසා රටට වෙන අයහපත ගැන කල්පනා කරපු මිහිඳු රජතුමා රාජ සභිකයන් සහ භික්ෂුන් ථූපාරාමයට කැඳවලා තමන්ගේ සැළසුම ගැන දැනුම් දීලා සේනාවත් අරගෙන රුහුණට පිටත් වෙනවා. මෙයින් බිය ගන්නා දප්පුල රජුත් සමග ගිවිසුමකට එනවා. ඒ අනුව රුහුණේ පාලනය දප්පුලට හිමි වෙනවා. ඉන් පස්සෙනම් දප්පුලගේ කෙනෙහිලි නැවතුනාලු.
මේ අතරේ රජතුමාගේ පුත්‍රයා (යුව රජ) මිය යන නිසා රජතුමා ඉතාමත් කණගාටුවට පත් වෙනවා. අනාගත රාජ්‍ය උරුමක්කාරයෙකුත් නැති වෙනවා මේ නිසා. හැබැයි අපි නොදන්න රහසකුත් තියනවා. ඒක මොකද්ද කියලා අපි ඊ ළඟ ලිපියෙදි බලමු :)












.jpg)


