Tuesday, July 31, 2012

සබෝර්

ඉල්පෙමින් සර සරය ගෙන එන
හිරු දැවී  කටු පිපුණු නිම්නේ
සිහිල් දිය උගුරක්‌ සොයා
පා ගැටෙන බිම දූලි සිඹිමින්
ඇවිද යන කෙසරුන් සලා 

ටැන්ටෝර් ගේ හඬින් බිය වැද
උර තලේ උණුහුමට ගුලි වෙන
පුංචි උන් ටික පිරිවරා
නුමා සැතපෙන ගුහා කෙළවර
හිඳින්නී සඳ දෙස බලා

වලා කොනකින් මිදෙන ගෝරෝ
පලා යන විට එළිය සඟවා
පවුල පිරිවර සනසවා
උඩඟු ශීටා හා කරට කර
ඇදෙන්නී අහරක් සොයා

කුස දැවී සිව් පාද පැකිලෙන
විටෙක සරදම් කරන ස්කා
දෙස බලා රුදු නෙත් යොමා
හැරෙන්නී දුර දිලෙන මිරිඟුව
හඹා යන බාරා සොයා

ගුහාවට දුර ඇදෙන විට කුඩු
ගුහා දොරකඩ සොයා  සපැමිණ
කවා දරුවන් සතපවා
සක්මනට ගිය නුමා එන තුරු
මග බලන්නී ඈ...

සබෝර්




                                                       ~~~~~~~~~~~~~~~~~~~~




ප. ලි. ටාසන් බලලා නැති අයට මේක පොඩ්ඩක් මන්ඥන් වගේ පෙනේවි :)

ප. ප. ලි.  ටාසන් බලපු කට්ටියටත් වචන මතක නෑ කිව්ව හින්දා ඔන්න වචන ටිකේ තේරුම දානවා. මේ තමයි ආදී කල්පික මානවයාගේ / වානරයින්ගේ භාෂාව.

ටැන්ටෝර් - ඇතා
නුමා - සිංහයා
ගෝරෝ - හඳ
ශීටා - දිවියා
ස්කා - ගිජු ලිහිණියා
බාරා - මුවා
කුඩු - හිරු
සබෝර් - සිංහ ධේනුව (කේ ජී කරුණාතිලක කියන විදියටනම් "සිංහිය")

කුඩු ගුහාවට යනවා කියන්නේ ඉර බහිනවට.
"දවස්" දෙකක් කියන එක දක්වන්නේ "කුඩු ගුහාවෙන් දෙපාරක් එලියට එනවා" කියලා.


Thursday, July 26, 2012

චිතකයට බිලි වූ කවිකාර නිරිඳා - රාජාවලිය XX





  
                                        වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී
                                        ව ස ර එක දා බිසව අබිසෙස් මහනුවම් තෙමඟුල් යෙදී
                                        ඇ ජ ර කිවියර පිනින් ජානකිහරණ ඈ මහ කව් බැඳි
                                        කු ම ර දස් රද කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී

මේ තියෙන්නේ පැරකුම්බා සිරිතේ එන කවියක්. මේකේ කියන විදියට ජානකීහරණය නම් මහා කාව්‍යය කරවූ කුමාරදාස රජතුමා කාලිදාස නම් කවියා වෙනුවෙන් දිවි පිදුවලු.

අපි පහුගිය රාජාවලිය ලිපිය නතර කළේ මුගලන් රජතුමා ලඟින්. මුගලන් රජතුමාගේ පුත්‍රයා තමයි කුමාරදාස රජතුමා (ක්‍රි. ව. 515 -  524). කුමාර ධාතුසේන කියලත් හඳුන්වනවා. ඔහු ඉතාමත් දක්ෂ කවියෙක් බවට ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි, එවකට භාරතයේ විසූ මහා කවි කාලිදාස මෙතුමාගේ කුළුපග මිතුරෙක් ලු. සමාන කලාකාමී සිත් දෙකක් අතර එහෙම මිතු දමක් ඇතිවීම ස්වාභාවිකයි. 

රජතුමාගේ ඛේදජනක මරණය ගැන අතීතයේ ඉඳලා එන ජනප්‍රවාදයක් තියනවා. කුමාරදාස රජතුමා මාතර ප්‍රදේශයේ වෙසෙන කාලේදි කාලිදාස ආවලු එතුමාව හමු වෙන්න. ඔය කාලෙදි රජතුමාගේ සිත් ගත්තු වෛශ්‍යාවක් හමු වෙන්න රජතුමා නිතර නිතර යමින් ලු හිටියේ. ටික දවසක් යද්දී කාලිදාස ත් ඇය හමු වෙන්න පටන් ගත්තා. හැබැයි රජතුමාට හොරාට. ඒත් මේ ගැන රජතුමාට කනින් කොනින් ආරංචි වෙලා තියනවා. මේ බව හරියටම දැනගන්න රජතුමා උපායක් කල්පනා කළා ලු. 

දවසක් රජතුමා ඒ ස්ත්‍රිය හමු වෙන්න ගිය වෙලාවක ඇගේ ඇඳ ඉහත බිත්තියේ මෙන්න මේ කවි පද දෙක ලිව්වලු. 

        සිය තඹරා සිය තඹරා සිය සෙ වැනී
        සිය සපුරා නිදි නොලබා උන් සෙ වැනී 

මෙහෙම ලියලා කිව්වලු මේකේ ඉතුරු පද දෙක සම්පූර්ණ කරන්න පුළුවන් උන කෙනෙකුට විශාල තෑග්ගක් දෙනවා කියලා. ඉතින් ඕකට ඉතුරු පද දෙකක් ලියන්න පුළුවන් උනේ කාලිදාසට ම විතරයි. රජතුමාගේ උපාය ගැන දැනගෙන නොසිටි කාලිදාස මේක දැකලා මෙන්න මෙහෙම ඉතුරු පද දෙක ලිව්වලු. 

        වන බඹරා මල නොතලා රොනට වනී 
        මල දෙදරා පණ ගලවා ගිය සෙ වැනී 

කාලිදාස ඕක සම්පුර්ණ කරාට පස්සේ අර ස්ත්‍රියට ආවා අමුතු අදහසක්. ඇයට ඕන උනේ තෑග්ග කාලිදාසට නොදී තමන්ට ලබා ගන්න. ඉතින් ඇය උපක්‍රමයකින් කාලිදාස මරණයට පත් කළා ලු. මේ බව ආරංචි වෙන කුමාරදාස රජතුමා ඉතාමත් දුකට පත්වෙලා තමන්ගේ මිතුරා දැවෙන චිතකයට පැනලා දිවි තොර කර ගත්තා කියලා තමයි කියන්නේ. මේක ජනප්‍රවාදයක් බවත් මතක තියාගන්න ඕන. රජතුමා කාලිදාස වෙනුවෙන් දිවි පිදූ බව පැරකුම්බා සිරිතේ සඳහන් වෙන විදිහ තමයි උඩම කවියේ තියෙන්නේ. 

මාතර බෝධිය පිහිටලා තියෙන්නේ කාලිදාස ගේ චිතකය තිබුණු තැන කියලත් කියනවා. 

ඉතින් කුමාරදාස රජතුමා ගේ මරණින් පස්සේ ඔහුගේ පුත්‍රයා කීර්තිසේන රජ වෙනවා. මේ කීර්තිසේන රජතුමා රජ වෙලා අවුරුද්දක් යන්නත් කලින් ඔහුගේ මාමා වන ශිව II (ක්‍රි. ව. 524 - 525), කීර්තිසේන මරා රජකම ලබා ගන්නවා. ඉන් පස්සේ ශිව ට විරුද්ධව ඉදිරියට එන්නේ කුමාරදාස රජුගේ බෑනා කෙනෙක් වන උපතිස්ස II. ශිව ගෙන් සිහසුන ලබාගන්නා දෙවන උපතිස්ස රජතුමාටත් (ක්‍රි. ව. 525 - 526) වැඩි කලක් යහතින් රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ සිලාකාල නම් ලම්භකර්ණ වංශිකයෙකු රාජ්‍ය ලෝභයෙන් රජතුමාට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්න නිසා. සිලාකාල, මුගලන් රජුගේ රාජ සභාවේ තනතුරක් දැරූ කෙනෙක් වගේම ඔහු විවාහ කරගෙන සිටියේ මුගලන් රජුගේ සොහොයුරියක්. ඒ නිසා රජ පවුලට නෑ කමකුත් තිබුණා.

මේ සිලාකාලගේ කැරලි මර්ධනය කරන්න මුලදී උපතිස්ස රජුගේ පුත්‍රයා සමත් උනත් අන්තිමට සිලාකාල ජයග්‍රහණය කරා. "අඹහෙරණ සලමෙවන්" නමින් ප්‍රසිද්ධ වුනු සිලාකාල වසර 13 ක් (ක්‍රි. ව. 526 - 539) ධර්මානුකුලව රජකම් කරනවා. 

සිලාකාල රජතුමාට ඉන්නවා මුගලන්,  දාටප්පභූති සහ උපතිස්ස නමින් පුත්‍රයින් තුන් දෙනෙක්. මුගලන් කුමරුට නැගෙනහිර ප්‍රදේශයත්  දාටප්පභූති  ට මලය රටත් පවරා දීපු රජතුමා උපතිස්ස කුමරු තමන් එක්කම රඳවා ගනිමින් රාජ්‍ය කටයුතු කරගෙන ගියා ලු. සිලාකාල රජතුමාගේ ඇවෑමෙන් පස්සේ මුගලන් කුමරු රාජ්‍ය බාර ගැනීම සඳහා පැමිණියත් ඒ වන විටත් දාටප්පභූති  කුමරු උපතිස්ස කුමරුත් මරණයට පත් කරලා රාජ්‍ය අයිති කරගෙන තිබුණු නිසා මුගලන් කුමරු සටනකට සැරසුනාලු. ද්වන්ද සටනක් අවසානයේ  දාටප්පභූති රජතුමා (ක්‍රි. ව. 539 - 540) පරාජය වීම නිසා මුගලන්ට රජකම හිමි වුනා. මෙලෙස මුගලන් II රජතුමා අවු. 20 ක් (ක්‍රි. ව. 540 - 560) ධාර්මිකව රජකම් කරනවා. මෙතුමා රාත්‍රී කාලයේදී ඇතුන් පිට නැග්ගවූ කවි ගායනා කරුවන් ලවා රට වැසියාට දහම් කවි අසන්න සලස්වලා දීලා තියනවා. 

තවත් රාජාවලිය ලිපියකින් ඉදිරියේදී හමු වෙමු. 



Thursday, July 19, 2012

රාජ් අයියගෙ කතා



හප්පේ...මෙහෙමත් කාලයක්. සෙමෙස්ටරේකවත් නැති වැඩ තොගයක් සමර් එකේ කඩන් පාත් උනානේ. කාලෙකින් පෝස්ට් එකක් දාලා නෑ කියලා මම දැක්කෙත් අපේ අසර් කිව්වට පස්සේ. කී දෙනෙක්ගේ බ්ලොග්  මගඇරුනද දන්නෙත් නෑ. ඔන්න කොහොමහරි පුංචි පෝස්ට් එකකට වෙලාව හොයා ගත්තා.

අද මම කියන්න යන්නේ අපේ රාජ් අයියා ගැන. මෙයා තමයි ලොකු අයියගෙ ඊ ළඟ මල්ලි. මෙයා ගැන කියන්න තියන කතාව නම් ලොකු අයියගෙ වගේ හිනා යන එකක් නෙවෙයි. ටිකක් විතර අරුම පුදුම කතාවක්.

හැමෝම "රාජ්" කියලා කිවුවට රාජ් කියන නම අයියගේ ඇත්ත නමට ගෑවිලාවත් නැහැ. කොහෙන් ආපු නමක්ද මන්දා ඒකනම්. ලොකු අයියගෙ ලිපියෙදි මම කිව්වනේ මේ රාජ් අයියා ටිකක් විතර හාමුදුරු කෙනෙක්ට සමාන චරිතයක් තිබුණු කෙනෙක් කියලා. හරිම නිවුණු, පිරිසුදු චරිතයක්. ඇවිදින්නෙත් හරියට සක්මන් භාවනාව කරනවා වගේ ක්‍රමානුකූලව. උදේට ගෙදරින් යද්දී බුදුන් වැඳලා පිරිත් කියලා එහෙමලු යන්නේ.

අපේ අම්මගේ යාළුවෙක් රාජ් අයියගේ ගුරුවරියක් වෙලා ඉඳලා තියනවා. දවසක් ඇය ඇස් වල කඳුළු පුරවගෙන අම්මත් එක්ක රාජ් අයියගේ හොඳ කියලා තිබුණා. ඉතිං පස්සේ කාලෙක ඉගන ගෙන එහෙම ඉවර වෙලා රාජ් අයියා ගියා කන්ද උඩරට පැත්තේ රස්සාවකට. ඔය කාලෙදි තමයි රාජ් අයියා පොඩි එෆෙයාර් එකක් පටන් ගන්නේ. උඩරට මැණිකේ කෙනෙක් නම් නෙවෙයි. පහත රටින් පේරේ ට ගියපු පොඩි කෙල්ලෙක් එක්ක (නෙලූ අක්කා). මේ අතරේ ලොකු අම්මලා ගේ ගෙදර රාජ් අයියට වැඩිමල් ඔක්කොමයි ඊට බාල අක්කයි හැමෝම බැඳලා, ඊ ලඟට ඉතුරු වෙලා හිටියේ එයා තමයි. ඉතිං ලොකු අම්මලට ඕන උනා කල වයස යන්න කලින් රාජ් අයියට කටයුත්තක් කරලා දෙන්න. ඉතිං නෙලූ අක්කා ගැන ගෙදරට කිව්වත් ඒකට වැඩි මනාපයක් ලැබෙන්නේ නෑ ගෙදරින්. මොකද නෙලූ අක්කා අවුට් වෙන්න තව අවුරුදු තුන හතරක්ම තිබුණා. 


ඉතිං රාජ් අයියා මොකද කළේ, අර සම්බන්ධේ නවත්වපු එක. ලොකු අම්මලා එක්ක ටිකක් කතා කරානම් ඒක ලේසියෙන් ගොඩ දාගන්න තිබුණා. රාජ් අයියා අපිට කිව්වේ දෙන්නා කතා කරලා අයින් උනා කියලා. ඒත් ඒ හින්දා නෙලූ අක්කා විඳපු දුක ගැන මම අක්කගෙන්ම දැනගත්තා පස්සේ කාලෙක. කොහොමහරි නෙලූ අක්කව අමතක කරපු රාජ් අයියා, ලොකු අම්මලා මනමාලියෙක් හොයල දෙනකන් ඔහේ බලාගෙන හිටියා. බලලා බලලා අන්තිමට එක්කෙනෙක් හම්බ උනා. නෙලූ අක්කට වඩා ගොඩක් ලස්සන, පවුලේ එකම ළමයා නිසා ලොකු ධනයක් හිමි, කෙනෙක්. ඒකට කාගෙවත් අමනාපයක් තිබුණේ නැති හින්දා වෙඩින් එකත් ලස්සනට ගත්තා. 


සතියක් දෙකක් යද්දි කට්ටියට තේරුණා මේ අලුත් මනමාලිගේ පොඩි වෙනසක් තියනවා කියලා. වෙනසක් කිව්වේ හැසිරීමේ වෙනසක්. බලද්දී ඇය මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්. බැඳපු දවසේ එයා ඒ ගැන රාජ් අයියත් එක්ක කියලා තියනවා (බඳින්න කලින් ඒක නොකිව්වේ ඇයිද මන්දා :-/ ඒ කියන්නේ ඒක රැවටීමක්). ඒත් රාජ් අයියා ඒ ගැන කාටත් නොකියා ඇයත් එක්ක හොඳින් ඉන්න තීරණය කළා ලු. හැබැයි මානසික ආබාධයක් හංගනවා කියන්නේ කැස්ස හංගනවා වගේ වැඩක් තමයි. එක එක අහේතුක හැසිරීම හින්දා ගෙදර අය ඒ ගැන හොයනකොට රාජ් අයියා ට ඒ ගැන කියන්න උනා. ඇයගේ නියම රෝගී තත්ත්වය මතු වෙන්න ගත්තා. ඔවුන්ගේ විවාහය සිද්ධ වෙලා තිබුනේ රෝගී තත්ත්වය යටපත් වෙලා තිබුණු කාලෙක වෙන්න ඕන. හදිසි විවාහ නොකරන්න ඔන්න හොඳ පාඩමක්.

අන්තිමට ඒ විවාහය කෙළවර උනේ දික්කසාදයකින්. රාජ් අයියා නීතියේ හැටියට රැවටීමකට ලක් වෙලා තිබුණා. ඒ නිසා ඒක ඒ තරම් අමාරුවක් උනේ නැහැ මම දන්න විදියට. ඔය විදියට හැම දෙයින්ම අයින් වෙලා ජීවිතෙන් පැරදිලා ඉඳිද්දී රාජ් අයියට ආපහු නෙලූ අක්කව මතක් වෙනවා. ඒ වෙද්දි නෙලූ අක්කා කැම්පස් එකෙන් අවුට් වෙලා. හරියට දේවතාවියක් වගේ නෙලූ අක්කා රාජ් අයියගේ ජීවිතේට නැවත එන්නේ කිසිම පැකිලීමක් නැතුව. අක්කගේ නෑයින්ගෙන් ඒකට ඇති වුනු බාධා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. අවුරුදු 4 ක් ඉවසන්න තමන්ගේ මවුපියන් කැමති කරවගන්න බැරි වුනු රාජ් අයියා වෙනුවෙන් නෙලූ අක්කා ඇගේ නෑයින්ට පිටු පානවා.  ඒ අවු. 4 ඉවසන්න බැරුව හදිසි උනාට අන්තිමට සිද්ධ උනේ රාජ් අයියගේ ජීවිතෙන් අවුරුදු 4 ක් නිකරුනේ විනාස වෙලා ගියපු එක. කොහොමහරි, දෙපැත්තේ නෑයින්ගේ ප්‍රශ්න මැද්දේ මේ දෙන්නා විවාහ උත්සවයකුත් ගන්නවා.

"යකෝ මේක හරිම අසාධාරණයිනේ...අපි බැන්දේ එක පාරයි. මූ දෙපාරක් බඳිනවා"
ඒ ඔවුන් පෝරුවට නගිනු බලා සිටි ලොකු අයියා කිව් කතාව ය. :)


මේ වෙද්දි රාජ් අයියා දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒ දරුවන්ටත් ඔවුන්ගේ පියාටත් ජීවිතය දුන් නෙලූ අක්කාට මගේ ආචාරය...අර උඩ පින්තූරේ ඉන්නේ එයා තමයි :)



Tuesday, July 10, 2012

ඔබාමා බලන්න ගිය හැටි

ඔබාමා කිව්වම කවුරුත් දන්නවනේ ඉතින් නේද? මෙයා තමයි හඳ අල්ලපු රටේ ප්‍රධාන පුරවැසියා. එයා ඉන්නේ Washington D.C. වල. අපි ලඟදි දවසක ගියා ඒ පැත්තේ රවුමක් දාන්න. ඒ ගැන විස්තර තමයි මම අද ඔයාලට කියන්න යන්නේ.

මේ Washington D.C. කියන්නේ ප්‍රාන්තයක් නෙමෙයි. District of Columbia කියලා හඳුන්වන මේ ප්‍රදේශය කිසිම ප්‍රාන්තයකට අයිති නැති, සාපේක්‍ෂව හරිම පුංචි බිම් කඩක්. ඒකට භුමිය පරිත්‍යාග කරලා තියෙන්නේ ඊට යාබදව පිහිටලා තියන "මේරිලන්ඩ්" ප්‍රාන්තයෙන්. ඉතින් මේ පුංචි බිම් කෑල්ල තමයි ඇමරිකාවේ අග නගරය. රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වැදගත් ගොඩනැගිලි, අමාත්‍යාංශ හැම එකක්ම තද බද වෙලා පිහිටලා තියෙන්නේ මේක ඇතුලේ. 


මේ තියෙන්නේ ඔබාමා වාසය කරන ධවල මන්දිරය ඉදිරියෙන් සහ පසු පසින් බැලුවම පේන විදිය. ඕනෑම කෙනෙක්ට වැට ලඟට ගිහිල්ලා පින්තුර ගැනීමේ නිදහස දීලා තියනවා. හැබැයි ඔබාමා අන්කල් නම් ආසාවට මූන දැම්මේ නෑ ජනේලෙකින්වත් :)




එහෙ තවත් බලන්න තියන දෙයක් තමයි ඒබ්‍රහම් ලින්කන් ගේ පිළිමය. ඔහුගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමාවක් ජීවමාන විදියට නිමවලා තියන විදිය නම් ලස්සනයි.



මේ තියෙන්නේ දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් හදපු සිහිවටනය. ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත වල නම් කොටපු ස්මාරක කණු, දිය මල වටේට පිහිටලා තියනවා. දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය අය සිහි වෙන්න තමයි මේ ස්මාරකය හදලා තියෙන්නේ.


මේ පින්තුරේ පේන උස කණුව තමයි "වොෂින්ග්ටන් ස්මාරකය" කියන්නේ. ඒක හදලා තියෙන්නේ ඇමරිකාවේ පළමු ජනාධිපති වුනු ජෝර්ජ් වොෂින්ග්ටන් වෙනුවෙන්.



මේ පහලින් තියෙන්නේ කැපිටල් බිල්ඩින්ග් එක...



මේ හැම එකක්ම පිහිටලා තියෙන්නේ පයින් ඇවිදගෙන යන්න පුළුවන් දුරකින්. හරියට අපි අනුරාධපුරේ ගිහින් අටමස්ථානේ වඳිනවා වගේ. අපේ ඓතිහාසික නගර එක්ක බලද්දී මෙව්වා මොනවද කියලා හිතෙනවා නේද?

Thursday, June 28, 2012

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ - රාජාවලිය XIX



ගියවර රාජාවලිය ලිපිය අපි නතර කළේ ධාතුසේන රජතුමා (ක්‍රි. ව. 453 - 479) ලඟින්. ඔහුගේ අවසාන කාලය ඒ තරම් මිහිරි එකක් නෙවෙයි කියලත් අපි කිව්වනේ. අද අපි බලමු ඇයි එහෙම උනේ කියලා.

ධාතුසේන රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක් සහ රූමත් දුවක්. මෙයින් වැඩිමල් කුමාරයා තමයි "කාශ්‍යප". ඒත් කාශ්‍යපගේ මව අග මෙහෙසිය නමෙයි. අග මෙහෙසියගෙන් ලැබුන පුතා තමයි "මුගලන්" කුමරු. (ධාතුසේන රජතුමාගේ මුල් බිසව ගෙන් කාශ්‍යප කුමරු ලැබුන බවත් ඇගේ මරණින් පසු සරණපාවා ගත් බිසව ගෙන් මුගලන් කුමරු ලැබුණු බවටත් මතයක් තියනවා. ඒවා ඉතින් එකිනෙකට වෙනස් මත). කොහොම උනත් රජකම නීත්‍යානුකුලව හිමි වෙන ලකුණු තිබුනේ මුගලන් කුමරුට.

මේ අතරේ ධාතුසේන රජතුමාගේ දියණිය සරණපාවා දෙනවා රජතුමාගේ සොයුරියගේ පුත් "මිගාර" ට. මිගාරත් ඔහුගේ මවත් රජ දියණියත්  අතර ඇති වෙන ගැටුමක් නිසා මිගාර විසින් රජුගේ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු. ඒකෙන් වෙන්නේ මිගාර, රජතුමා සමඟ වෛර බැඳ ගන්න එක. රජතුමාගෙන් පළිගන්න අවස්ථාවක් හොය හොයා ඉඳපු මිගාර දකිනවා රජ පවුලේ දුර්වල තැනක්...

ඒ තමයි කාශ්‍යප කුමාරයා.  නීත්‍යානුකුලව රජකම හිමි වෙන්න තිබුනේ මුගලන් ට නිසා කාශ්‍යප හරියට ඇවිලෙන්න බලාගෙන ඉන්න පිදුරු ගොඩක් වගේ කියලා මිගාරට තේරුණා. ඔහු කළේ පුංචි ගිනි සිළුවක් පිදුරු ගොඩට ලං කරන එක විතරයි. ධාතුසේන රජතුමා ළඟ අති විශාල ධනයක් සඟවලා තියනවා කියලා කාශ්‍යප උසි ගන්වපු මිගාර, කාශ්‍යපට රජ කම ලබාගන්න උදව් කරන්නත් පොරොන්දු උනා. 


ඉතින් කාශ්‍යප මොකද කළේ, සම්පුර්ණයෙන්ම මිගාරගේ බසට අවනත වෙලා සඟවපු වස්තුව ඉල්ලමින් රජතුමාට කරදර කරපු එක. මේ අතරෙදි මුගලන් කුමාරයාත් ආරක්ෂාව පතා ඉන්දියාවට යනවා. අන්තිමේදී ධාතුසේන රජතුමා කියනවා කාශ්‍යපට, වස්තුව දෙන්න කලා වැව ලඟට එක්ක යන්න කියලා. එතනට ගියාම කලා වැවට නැඹුරු වෙලා දිය දෝතක් අරගෙන රජතුමා කියනවා "මේ තමයි මගේ ළඟ තියන එකම වස්තුව" කියලා.

"බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ...
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ"

මේක අහලා හොඳටම කුපිත වෙන කාශ්‍යප, රජතුමා ව වැව් බැම්මේ තියලා මැටි ගසා මරා දමන්න නියෝග කරනවා.

"සිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුත සිත බින්දේ...
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ"

ඉතින් ධාතුසේන රජතුමාගේ මරණය ඔහුගේම පුතා අතින් සිද්ධ වෙන්නේ හරිම ශෝචනීය ආකාරයට. රජතුමා කලා වැව හදද්දී භාවනානුයෝගීව ඉඳපු රහතන් වහන්සේ කෙනෙක් සමාධිය බිඳලා එතනින් අයින් නොවුණු නිසා රහතුන් යට කර පස් දැමීමේ විපාකය පල දුන්නේ මේ විදියට කියලත් මතයක් තියනවා. කොහොම හරි රජකමත් කාශ්‍යප කුමාරයා විසින්ම පවරා ගන්නවා. ඉතින් මේ පීතෘඝාතක කාශ්‍යප රජතුමා කොයි මොහොතේ හෝ මුගලන් ගෙන් ඇති වෙන්න පුළුවන් ආක්‍රමණයක් ගැන සැකයෙන් තමයි ඉන්නේ.

ඒ නිසා කාශ්‍යප රජතුමා (ක්‍රි. ව. 479 - 497) සීගිරි පර්වතය (මේ වෙද්දීත් සීගිරිය බලකොටුවක් ව තිබුනා කියල තමයි කියන්නේ) වෙත ගොස් එහි සකලාංග සම්පූර්ණ රජ මාලිගාවක් සහ බලකොටුවක් කරවලා එහි වාසය කරනවා. මේ වෙලාවේදී සීගිරිය ගැනත් පොඩ්ඩක් නොකිව්වොත් හොඳ නැහැ නේ.

සීගිරියේ ඉතිහාසය රාවණා රජ දවස තරම් ඈතට විහිදෙන බව හුඟ දෙනෙක් විශ්වාස කරනවා. ඒ කාලයේ සීගිරිය හඳුන්වලා තියෙන්නේ "ආලකමන්දාව" යන නමින්. රාවණා රජු ගේ අර්ධ සොහොයුරෙකු වූ "කුවේර", ආලකමන්දාව වාස භවන කර ගත්තා ලු. ඉතින් ඊට ගොඩක් පස්සේ කාලෙක තමයි කාශ්‍යප රජතුමා ඒක වාස භවන කරගෙන තියෙන්නේ. සීගිරි චිත්‍ර, කුරුටු ගී, කැටපත් පවුර සහ ජල පද්ධතිය වගේ සීගිරිය ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබුනත් මේ රාජාවලිය ලිපි පෙළ පුරාවිද්‍යාත්මක පැත්තට වැඩි නැඹුරුවක් නැති නිසා ඒ ගැන වැඩි දුර කතා නොකර ඉන්නම්. ඒ ගැන තොරතුරු ඕනෑ තරම් ජාලගත වෙලා තියනවා කියලා හිතනවා.

ආපහු කතාවට එමුකො. ඉන්දියාවට ගියපු මුගලන් කුමාරයා සේනාවක් අරගෙන ආපහු එනවා කාශ්‍යප රජුට විරුද්ධව සටන් කරන්න. කාශ්‍යප රජතුමාත් සේනාව අරගෙන ඇතා පිටේ නැගලා පෙරමුණට ගියාලු. මේ ගමන් මාර්ගයේ තිබුණු විශාල මඩ වලක් හින්දා කාශ්‍යප රජතුමාගේ ඇතා ආපසු හැරෙනවා දැකපු සේනාව, රජු සටනින් පළා යනවා කියලා හිතලා ඔවුනුත් පළා යන්න ගත්තලු. සටනින් පරදින්න වෙන බව දැකපු කාශ්‍යප රජතුමා තමන් විසින්ම දිවි තොර කර ගත්තා කියල තමයි කියන්නේ.

ඉන් පස්සේ මුගලන් රජතුමා නැවත අනුරාධපුරයට රාජධානිය ගෙන ගොස් තම පියා මැරීමට හවුල් වූ අයට දඬුවම් දී, අවුරුදු 18 ක් (ක්‍රි. ව. 497 - 515) රට පාලනය කරනවා. 

Tuesday, June 19, 2012

මිහිපිට විසූ විශ්වකර්මයා



ඔය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඉන්නවා නේද? එයා තමයි දිව්‍ය ලෝකේ ඉංජිනේරුවා. පොදුවේ ඉංජිනේරුවන්ට විශ්වකර්මයෝ කියලත් කියනවනේ.

මම අද කියන්නේ යන්නේ දිව්‍ය ලෝකේ හිටපු කෙනෙක් ගැනනම් නෙමෙයි. මේ පෘතුවියේ වාසය කරපු විශ්වකර්මයා ගැන.

කවුද ඒ?

ඒ තමයි නිකොලා ටෙස්ලා. කී දෙනෙක් මාත් එක්ක එකඟ වෙනවද?

                                                             ~~~~~~~~~~~~~~~~~~

ඔහු ඉපදුනේ ක්රොඒශියාවේ සර්බියානු යුවළකට දාව, 1856 දී...ඒත් වැරදි කාලයක (ඒ ගැන පසුව කියන්නම්කෝ).  අවු. 4 ක පාසල් වාරයක් අවු. 3 කින් අවසන් කරන ටෙස්ලා, විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රියාවේ, ග්‍රේස් වෙත යනවා. ඒත් උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ඔහු, 1878 දී විශ්ව විද්‍යාලයත් තමන්ගේ පවුල සමග තිබූ සම්බන්ධතා ත් අත් හරිනවා. හේතුවනම් පැහැදිළි නැහැ. 1880 දී ඔහු බුඩාපෙස්ට් වෙත යන්නේ ටෙලිග්‍රාප් ආයතනයක සේවය සඳහා. එහිදී ඔහු නිපදවන ටෙලිෆෝන් ඇම්ප්ලිෆයරය, ලොව ප්‍රථම ශබ්ද විකාශන යන්ත්‍රය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්ඩක්ෂන් මෝටරය ගැන අදහස ඔහුගේ හිතට එන්නෙත් මේ කාලයේදී. අද අපේ නවීන ලෝකයේ පාවිච්චි වෙන බොහොමයක් උපකරණ වල භාවිතා වෙන මෝටරය තමයි ඒ.

1882 දී ටෙස්ලා පැරිස් වෙත යන්නේ. කොන්ටිනෙන්ටල් එඩිසන් ආයතනයේ සේවය සඳහා. ඔහු මුල් වරට ඇමරිකාවට පා තබන්නේ 1884 දී. ඔහුගේ මුල් ව්‍යවසායකයා(චාර්ල්ස් බැචලර්) ගෙන් ලැබුණු රෙකමදාරු ලියුමත් රැගෙන ටෙස්ලා යන්නේ "තෝමස් අල්වා එඩිසන්" මුණ ගැහෙන්න. චාර්ල්ස් බැචලර් දීපු මේ රෙකමදාරු ලියුමේ තිබුනේ මෙච්චරයි...

"I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter"

( "මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය" )

ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් හිටියේ ඉතාමත් ඉහළ තැනක. හැබැයි තමන්ගේ උත්සාහයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට තමන් යටතේ වැඩ කරන අයගේ නිමැවුම් වලට පේටන්ට් බලපත්‍ර ගෙන ඒවා අලෙවි කිරීමෙන් තමයි ඔහු නමක් හදාගෙන තිබුනේ. ඔහු වඩා දක්ෂ උනේ අනුන් කරන නිපැයුම් මාකට් කරන්න. විශ්වාස නැද්ද? බලන්නකෝ ඔහු ටෙස්ලා ට කරන දේ...

එඩිසන්ගේ ආයතනයේ තිබුණු විදුලි ජනක යන්ත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ටෙස්ලාට බාර වෙන්නේ එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුව මත. තමන්ට නියම වුනු කාර්යය ඉතාමත් හොඳින් නිම කරන ටෙස්ලා, එඩිසන් ගෙන් ඩොලර් පනස්දාහ ඉල්ලා හිටියම ඔහුට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.

"ටෙස්ලා...ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ"

මෙවෙලේ එඩිසන්ගේ ආයතනයෙන් ඉල්ලා අස් වෙන ටෙස්ලා, නිව් යෝක් නගරයේ කම්කරු කටයුතු වල නිරත වෙනවා. ඒක ඔහුට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් උනා. මඩ වලක හිටියත් මැණිකේ අගය අඩු වෙන්නේ නැහැ කියන්න වගේ ටෙස්ලාගේ නිසඟ කුසලතා යටපත් කරන්න දෛවය ට හැකි උනේ නැහැ.

මේ කාලේ වෙද්දී විදුලිය සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ සරල ධාරා (Direct current) යොදා ගෙන. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ සන්නායකය (කම්බිය) හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීම. කම්බියේ ප්‍රතිරෝධය නිසා විශාල වශයෙන් බල ශක්තිය හානි වීමක් මේ ක්‍රමයේදී වෙනවා. ඒ වගේමයි ඒකට යොදා ගන්න කම්බිත් විශ්කම්භයෙන් ඉතාම වැඩියි(ඇයි ඉතින් පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනනේ) . ඒ නිසා මේකේ තිබුණ ලොකුම අවාසිය තමයි වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණ කරන්න අපහසු වීම. සැතපුමෙන් සැතපුමට සම්ප්‍රේෂණ කුළුණු සවි කරන්න උනා වගේම හැම තැනකම ඝන කමින් ඉතා වැඩි අති විශාල කම්බි ප්‍රමාණයක් අදින්නත් සිද්ධ උනා. කොටින්ම කියනවනම් නගරයේ එක තැනක අහසත් නොපෙනෙන තරමට කම්බි ඇදලා තිබුණලු. එහෙම කරලත් විදුලිය ලබා දෙන්න පුළුවන් උනේ ඉතාමත් සීමිත ප්‍රදේශයකට. පහළ වම් පැත්තේ පින්තුරේ බලන්නකෝ...



හ්ම්...දැන් බලන්නකෝ දකුණු පැත්තේ තියන පින්තුරේ. ඒ ස්ථානයමයි, ඒත් අර වයර් ගොඩ නැති වෙලා. ඒ ස්ථානය මේ තත්ත්වෙට ගත්තේ කවුද දන්නවද? "ටෙස්ලා....ඒ කොහොමද?

 "ප්‍රත්‍යාවර්ථ ධාරා" එහෙම නැත්නම් "Alternating current" කියන සංකල්පය ටෙස්ලා ට පහළ වෙන්නේ මේ වයර් ගොඩවල් දැක්කට පස්සේ. මේ ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිද්ධ වෙන්නේ නැති නිසා කම්බිය දිගේ බල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සරල ධාරා ක්‍රමයට වඩා සැතපුම් සිය ගානක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන උනේ ඉතාමත් සීමිත සම්ප්‍රේෂණ කුළුණු ගානක්. ඒ වගේම ඉතාමත් සිහින් කම්බි මේ සඳහා යොදා ගන්න පුළුවන් උනා. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම වගේම ලාබදායී ක්‍රමයක්. මේ සංකල්පයේ වැදගත් කම තේරුම් ගත්ත "ජෝජ් වෙස්ටින්ග්හවුස්" කියන ධනවතා ඩොලර් 60000 කට එහි පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිල දී ගෙන ප්‍රත්‍යාවර්ථ විදුලි පද්ධති ස්ථාපිත කිරීම අරඹනවා. 


ඉතින්, අද මුළු ලෝකයම ඒකාලෝක වෙලා තියෙන්නේ, ඕනෑම අහුමුල්ලකට ඉතාමත් පහසුවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ටෙස්ලා නිසා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?


දැන් එතකොට තෝමස් එඩිසන් ඉන්නවා නේද? එයා සම්පුර්ණයෙන් අනුග්‍රහය දක්වමින් හිටියේ සරල ධාරා ක්‍රමයට. ඔහු විදුලි බල්බයටත් පේටන්ට් අරගෙන තිබුනේ (එයත් ඔහුට අයිති නිර්මාණයක් නෙමෙයිලු. වෙන කෙනෙකුගේ නිර්මාණයක් වැඩි දියුණු කිරීමක් පමණයි). ටෙස්ලා අස් වෙලා ගිය දවසේ ඉඳන් එඩිසන් ඔහුගේ විරුද්ධ කාරයා. ඔහුට මේක අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට උපායක් කල්පනා කරන එඩිසන් අන්තිමට මෙහෙම දෙයක් කරනවා. බල්ලෝ පූසෝ වගේ සත්තු අල්ලාගෙන ඇවිත් උන්ට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් වදින්න සලස්වලා එයින් උන් මැරෙන බව පෙන්නපු එඩිසන් කිව්වේ මෙය ඉතාමත් අනතුරුදායක දෙයක් නිසා භාවිතය නැවැත්විය යුතු බවයි. ඒත් ඉතින් අදටත් අපේ ගෙවල්වලට විදුලිය ගේන්නේ ඔය ප්‍රත්‍යාවර්ථ ධාරාව, ටෙස්ලාට පින් සිද්ද වෙන්න. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා.

කොහොම හරි මේ සිද්ධි වෙන අතරේ "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ ප්‍රදර්ශන සහ සංදර්ශන පැවැත්වීමට (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) සූදානම් වන අතරේදී එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. දැන් මෙතන තව ප්‍රශ්නයක් වෙනවා. අර ටෙන්ඩර් එක ගන්න එඩිසන් මහත්මයත් ලන්සු තිව්වට ඔහුට ඒක ලැබුනේ නෑ. ඉතින් ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා...

දැන් ඉතින් බල්බ් නැතුව මොන ආලෝකකරණද? ඒත් ටෙස්ලා නෙමෙයි ඒවායින් සැලුනේ. ඔහු ඒ සඳහා වෙනස්ම ආකාරයේ බල්බයක් ඔහු විසින්ම නිපදවනවා (පසු කලක ඔහු නිපදවන ගෑස් බල්බයේ සංකල්පය තමයි අද සී එෆ් එල් බල්බ වල භාවිතා වන්නේත්). අදාළ දවසේ දහස් ගණන් බල්බ දල්වමින් ආලෝකකරණ කටයුත්ත අති සාර්ථක ලෙස නිම කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට එවන් දෙයක් විදුලියෙන් ආලෝකකරණය කළ අවස්ථාව. ඉන් පස්සේ තමයි ටෙස්ලා ගේ නම ලොව පුරාම ප්‍රසිද්ධ වෙන්නේ.



ටෙස්ලා ගේ අති සාර්ථකත්වය දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා  කළ හැකි ලඟම නගරය උනේ "බෆලෝ නගරය". එයට ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය  විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම  විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි ඒ. නයගරා ඇල්ල අසල ටෙස්ලාගේ ප්‍රතිමාවක් තියෙන්නේ මොන එකකටදැයි කල්පනා කරන අයට උත්තරේ තමයි මේ දුන්නේ :)






1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.

අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා.

නොබෙල් ත්‍යාග ලාභී "ගුග්ලිමෝ මාර්කෝනි" රේඩියෝව සොයා ගත් බව හැමෝම අහල ඇති. ඒත් ඒ සොයා ගැනීමට යොදාගත් අනෙක් සියලු නිමවුම්, ටෙස්ලාගේ බව දන්නේ නැහැ නේද? ඒත් ටෙස්ලා කිව්වේ මෙපමණයි.

"Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"

රේඩියෝව නිපදවීමට මාර්කෝනි විසින් ටෙස්ලාගේ පේටන්ට් 17 ක් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙක රේඩියෝව සොයා ගැනීමේ ගෞරවය නැවත ටෙස්ලා වෙත පවරනවා.

ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "ටෙස්ලා කොයිල්" ගැන. ගැමියාගේ පත් ඉරුවේ මේවා සම්බන්ධ කරගෙන ලස්සන ප්‍රබන්ධයක්‌ ලියවිලා තිබුණා. දැන් බලමුකෝ මොකක්ද මේ සංකල්පය කියලා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ) හදපු සැළසුමේ මුල තමයි ඒ. මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන් ටෙස්ලා කොයිල් එකක් මොන වගේද කියලා.



මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.

ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.

ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව.  ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.

ඉන් එකක් තමයි භුමි කම්පා යන්ත්‍රය. ඕනෑම වස්තුවකට  අනන්‍ය අනුනාද සංඛ්‍යාතයක් ඇති බවත් ඒ සංඛ්යාතයම වෙනත් ප්‍රභවයකින් ඇති කලොත් ඒ වස්තුව කඩා බිඳ විනාශ කළ හැකි බවත් දන්නවා ඇති නේ. ඒ තමයි අනුනාදය කියන සංසිද්ධිය (ලතා මන්ගේශ්කාර්ගේ කටහඬ ට පුළුවන්ලු වයින් වීදුරුවක් අනුනාද කරලා බිඳින්න). ඉතින් ටෙස්ලා කලේ වස්තුවක අනුනාද සංඛ්‍යාතය නිර්ණය කරලා එයට සමාන සංඛ්‍යාතයක් ඇති ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් උපකරණයක් හදන එක. ඉතා විශාල ගොඩනැගිලි, පාලම් පවා මේ පුංචි උපකරණය යොදා ගෙන විනාශ කරන්න හැකියාව තියනවා.

ඒ විදියේ තවත් පරීක්ෂණයක් තමයි "Death rays". ඉතාමත් ඈතදී මිසයිලයක් පවා විනාශ කිරීමේ හැකියාව මේ කිරණ වලට තියනවලු.

දැනට මේ ලිපි ගොණු ටෙස්ලා කෞතුකාගාරයේ තිබුනත් කොපමණ ලිපි ප්‍රමාණයක් සැඟවිලා ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.

ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්.  ඔහු ඉපදුනේ වැරදි කාලයක බව මම කලින් කීවේ ඒ නිසයි. අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීම. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ. 


ලෝකයක් තැනූ ටෙස්ලා, ලෝකය විසින් අමතක කරන ලදුව...





"Our virtues and our failings are inseparable...like force and matter...When they separate, man is no more..." - Nikola Tesla

Wednesday, June 13, 2012

ලොකු අයියගෙ කතා


අපේ ලොකු අම්මට ඉන්නවා පුතාලා හතර දෙනෙක්. හතර දෙනාම අපිට වඩා වැඩිමල්. පොඩිම අයියා ටිකක් එක විදියක්. තමන්ගේ වැඩ කටයුතු වලටම  මුල් තැන දෙන මේ අයියා ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් තමයි කරන්නේ nerd. ඊට වැඩිමල් අයියා සුදු අයියා. මෙයානම් හරිම සංවේදී හිතක් තියන, මගෝඩි වැඩ කරන්නේ නැති, හොඳ කෙනෙක්. අපිත් එක්කත් හරිම ෆිට් batting eyelashes. ඊට වැඩිමල් රාජ් අයියා. මේ අයියා ගිහි ජීවිතේට වඩා පැවිදි ජීවිතේට තමා වැඩියෙන් ගැළපෙන්නේ (ඒත් දෙයියනේ කියලා දැන්නම් ළමයෙකුත් ඉන්නවා). ඊ ලඟට ඉන්නේ ලොකුම අයියා. මෙයා ගැනනම් ලේසියෙන් විස්තර කරලා ඉවර කරන්න අමාරුයි. හරිම හොඳ හිතක් තියන, හැබැයි අහිංසක නැති, අසාධාරණේ දැක්කම අම්මා තාත්තට උනත් විරුද්ධ වෙන, බොහොම විනෝදෙන් ඉන්න කැමති හරිම සරල කෙනෙක් තමයි ලොකු අයියා cowboy.

අපරාදේ කියන්න බෑ අහසට පොළව වගේ වෙනස් ගති පැවතුම් තියන මේ හතර දෙනාව ලොකු අම්මා හරිම හොඳට හදල තියනවා. මේ හතර දෙනා ගැනම කියන්න වෙන වෙනම කතා තිබුනත් අද කියන්න යන්නේ ලොකු අයියා ගැන.

ලොකු අයියා ඒ ලෙවල් කරලා ඉවර වෙලා මොකක්දෝ කෝස් එකක් කරන්න අපේ ගෙදර එනකොට අපි හරිම පොඩියි. ඒ ලෙවල් හරියට කරගත්තේ නැති හින්දා තමයි එහෙම එන්න උනේ (ඉගන ගන්න කිසිම  උනන්දුවක් තිබුනේ නැතුව ඒ ලෙවල් කරගත්තා නම් තමයි පුදුමේ). ඒ දවස්වල අපි හිටියේ තිස්ස මහාරාමේ. ඊට පස්සේ ඉතින් කසාද බඳිනකන්ම ලොකු අයියා හිටියේ අපේ ගෙදර. ලොකු අම්මලට වඩා අපේ අම්මලා එක්ක ඉන්න තමයි ලොකු අයියා හිටියේ. අපේ මල්ලි ගොඩක් ලොකු වෙනකන්ම හිතාගෙන හිටියේ ලොකු අයියා අපේම අයියා කෙනෙක් කියලා.

ඔය අතරේ ලොකු අයියට වාහන පිස්සුවක් හැදුන නිසා අර කෝස් එක කරන එකත් අතරමග නැවතුනා. අදත් අපේ අම්මා කියන කතාවක් තමයි "මේ කොල්ලා අර කෝස් එක හරියට කරගත්තානම් අද ටී ඕ කෙනෙක්නෙ" කියන එක. ඒත් ලොකු අයියට ඒවා ගානක් නැහැ. එයා අන්තිමට නැවතුනේ ඩ්‍රයිවින් ජොබ් එකක. තමන් කැමති දේ එපාය කරන්න.

ඉතින් කොහොමහරි ඔය විදියට කාලේ ගෙවිලා යද්දී ලොකු අම්මලා පටන්ගත්තා අයියට මනමාලියෝ හොයන්න. හාපෝ ඒ මිනිස්සු ඒකට කාපු කට්ටක් d'oh. බලන්න යන හැම කෙනාගෙම මොකක් හරි ඇදයක් හොයාගන්න ලොකු අයියා හරි දක්සයි. එයා හේතු හැටියට කිව්වෙත් මහ සහ ගහන හේතු. "එයා ගේ ඇතුලට සෙරෙප්පු දාගෙන හිටියා", "එයා සාරියක්වත් අඳින්නේ නැතුව නිකන්ම ඇඳුමක් ඇඳගෙන නේ හිටියේ", "එයා හරියට මූන බලලා කතා කරන්නේ නැහැ". ඔන්න ඔය වගේ හේතු තමයි කිව්වේ. අන්තිමේදී කට්ටියට මේ වැඩේ එපා වෙලා දමලා ගහලා ඉන්නකොට එයාම හරියන එක්කෙනෙක් හොයාගෙන තිබුනා. චන්දි අක්කා, සේවා ස්ථානයේම කෙනෙක්. හැබැයි අක්කා අයියට වඩා නිලයෙන් උසස්. මේ හින්දා අක්කලාගේ ගෙදරින් බාධක ආවත් අක්කා නෙමෙයි ඒවට සැලුනේ smug. අයියටම හරියන ජාතියේ නේ ඉතින් එයත්.  අන්තිමේදී ඉතින් දෙන්නා ජය සිරි මංගලම් ගමන් ගියා.

මේ අක්කට පුළුවන් උනා සක්‍රයටවත් වෙනස් කරන්න බැරි ලොකු අයියාගේ සමහර ගති වෙනස් කරන්න.

1. කොට්ට උර යනු සෝද සෝදා පාවිච්චියට ගත හැකි දෙයක් බව වටහා දීම (කොට්ට උරේ මඩ පාට වෙනකන් පාවිච්චි කරලා ඒක විසි කරලා අලුතෙන් එකක් දාගන්න එක තමයි ලොකු අයියගේ පුරුද්ද වෙලා තිබුනේ)

2. සුදු ලූණු සමග තිබුණු වෛරය නැති කිරීම

3. අමුඩ ලේන්සුවක දමා පිට්ටු තැම්බූ සත්‍ය කතාවක් අසා පිට්ටු වර්ජනය කරමින් සිටි ලොකු අයියාට පිට්ටු කෑමට පුරුදු කිරීම.

මේ දෙන්නා ඉතින් තකට තක. රයිගමයයි ගම්පලයයි වගේ තමයි. දවසක් දෙන්නා පොලිසි නොගිහින් බේරුනේ අනූ නවයෙන්. තමන්ගේම ගෙට වහලෙන් බහින්න ගිහිල්ලා තමයි ඒ වැඩේ උනේ. ඉස්සරහ දොර ලොක් කරලා තියෙද්දී මෙලෝ සිහියක් නැතුව දෙන්නම ඉබේ ලොක් වෙන කුස්සියේ දොරෙන් එලියට බැහැලා. මම අතීතයේ දවසක් පෝස්ට් එකෙත් මේ දෙන්නා ගැන පොඩ්ඩක් ලිව්වා.

ඉතින් කියන්න ගිය කතාව තාම කිව්වේ නෑ නේ. හැමෝටම සද්දේ දාගෙන ඉන්න ලොකු අයියා, අක්කට ඇරුනහම බය තව දෙයක් තියනවා. ඒ තමයි ඉන්ජෙක්ෂන් කට්ට I don't want to see.

මේ එයා බඳින්න කලින් වෙච්ච වැඩක්. දවසක් අපි ටවුමට ගිය වෙලාවේ මොනවද බඩු වගයක් ගන්න කඩයක් ළඟ නතර කළා. එතන එහා පැත්තේ දත් දොස්තර කෙනෙක් ඉන්නවා දැකපු ලොකු අයියා වැඩර් වගේ ගියා දතක් ගලවගන්න තියනවා කියලා. අපි බඩුත් අරගෙන එයා එනකන් පැය බාගයක් හිටියා...ම්හු....පැයක් හිටියා...ඒත් නෑ. බැරිම තැන අම්මා ගියා බලලා එන්න. යනකොට ලොකු අයියා ඉන්නවලු ඇඳක හාන්සි කරවලා. නර්ස්ලා ටික හිකි හිකි ගගා හිනා වෙවී ඉන්නවලු. ඒ අය අම්මට විස්තරේ කියලා. ඉන්ජෙක්ෂන් එක ගහන්න කටුව ලං කරනකොටම ලොකු අයියට කලන්තේ හැදෙනවලු. ඊට පස්සේ ඇඳෙන් තියලා පොඩ්ඩක් හරි ගියාම ආපහු ඉන්ජෙක්ෂන් එක ගහන්න හදනවලු. ඉතින් ආපහු කලන්තෙලු. ඔය විදියට තුන් හතර පාරක්ම වෙලා. එදා දත ගැලෙව්වද කියලනම් මට මතකයක් නෑ. :)

මේක උනේ බැන්දට පස්සේ. දවසක් අක්කගේ දනිස් පොල් කටුව පැනලා අක්කව හොස්පිටල් අරන් ගියා. අම්මෝ ඒක දිහා බලන්න බයයි. දනහිස ඇත්තටම තියන තැන ෆ්ලැට් වෙලා දනිස්ස පැත්තකට පැනලා. ඕක ගණන් ගන්න එපා ඩොක්ටර්ස්ලා ටක් ගාලා ඕක හරි තැනට දාලා දෙයි කියලා අක්කටත් ටෝක්ස් දිදී තමයි ලොකු අයියා හිටියේ. හොස්පිටල් ගෙනිච්චම අක්කව ඇඳකින් තියලා නර්ස් කෙනෙක් ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හැදුවලු අක්කට. එතකොටම...
"දඩාස්..."
බලද්දී ලොකු අයියට කලන්තේ හැදිලා වැටිලලු...


Related Posts Plugin for WordPress, Blogger...