අමරණීය වෙන්න කැමතිද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කීප දෙනෙක් හරි "කැමතියි" කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ. එහෙම හිතෙන එක ස්වාභාවිකයි. මරණයට තියන බය හින්දාත් තමන්ගේ නෑයින්, හිත මිතුරන්, දේපළ දාලා යන්න තියන අකමැත්ත හින්දාත් එහෙම හිතෙනවා ඇති. ඒවාට තියන ආසාව වැඩි වෙන තරමට ජීවත් වීමේ ආසාවත් වැඩි වෙනවා.
හැබැයි නිකමට හිතන්න අපිට අමරණීය වෙන්න අවස්ථාවක් ලැබුණා කියලා. එතකොට හැමදාටම නොමැරී ජීවත් වෙන්න පුළුවන්. මොකද හිතන්නේ?
~~~~~~~~~~~~~~~~
"Tuck Everlasting" කියන්නේ 2002 වසරේ තිරගත උන චිත්‍රපටියක්. බලපු අය දන්නවා ඇති, ඒකෙ තියෙන්නේ හරිම ලස්සන කතාවක්.
"ජෙසී ටක්' කියන්නේ "ටක්" පවුලේ බාල පුතා. කැලේ තිබුණ එක්තරා දිය උල්පතකින් වතුර බීපු නිසා ඒ පවුලම අමරණීය බවට පත් වෙලා. ජෙසීත් ඔහුගේ අයියාත් දෙමව්පියනුත් කැලෑබද පුංචි ගෙදරක සරල, ලස්සන ජීවිතයක් ගෙවමින් ඉන්නවා. බැලූ බැල්මට හැම දෙනාම සතුටින්. මරණය ගැන කිසිම බයක් නැහැ. ලෝකේ සංචාරය කරන්න, කැමති කැමති දේවල් කරන්න ඕන තරම් කාලය, අවස්ථාව තියනවා.
ඔය අතරේ තමයි ජෙසී ට "විනී" මුණගැහෙන්නේ.
ඇය ඉතාම ලස්සන, දඟකාර තරුණියක්. ඇය ජෙසීගෙන් අමරණීය වීමේ රහස දැනගන්නවා. ජෙසී ට උවමනා වෙන්නේ ඇයත් අමරණීය බවට පත් කරගෙන හැමදාම සතුටින් ඇයත් එක්ක ඉන්න. ඒත් මේකට විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජෙසී ගේ පියා. අමරණීය වෙන එක පිටතින් පේන තරම් සුන්දර නැති බව ඇයට අවබෝධ කරලා දෙන්න ඔහු උත්සාහ කරනවා.
~~~~~~~~~~~~~~~~~~
කොටින්ම, අමරණීය වෙනවා කියන්නේ දුකක්. හැමදාම එකම විදිහට එකම ශරීරය, රූපය, හැඩය ඇතුව ජීවත් වෙන එක වෙහෙසකරයි (ලස්සන උනත් කැත උනත් ඒකෙ වෙනසක් නැහැ). ඔයාලම හිතන්න හැමදාම එකම දේ එකම විදියට කණ්නාඩියෙන් දකින්න ගත්තොත් කොහොම හිතේවිද කියලා. ඔට්ටුයි අයිශ්වර්යා රායිට උනත් අවු 100 ක් ගියාට පස්සේ එයාවම එපා වෙනවා. ඒක තමයි මිනිස් මනසේ ස්වභාවය. ඉතින් සදාකාලිකවම එකම විදියට ඉන්න උනොත් කොහොමට තියෙයිද? ඒ වගේම එකම දෙමව්පියන්, සහෝදරයින්, නෑයින් සමග ජීවත් වෙන එක. සදාකාලිකවම එකම පිරිසක් සමග සම්බන්ධතා තියාගන්න උනොත් ඒකත් එපා වෙනවා නේද. මම දැකලා තියනවා "ලබන ආත්මෙවත් මට හොඳ සහකරුවෙක් /දරුවන්/ දෙමව්පියන් ලැබුනොත්, හොඳ යහළුවන් ලැබුනොත්" කියලා හිතන අය. ඉතින් එහෙම අය අමරණීය උනොත් එහෙම, නෝ ඔප්ෂන්. නැත්නම් මෙහෙම හිතන්නකෝ. අමරණීය එක්කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේ ගියොත් කොහොමට හිටීවිද? :)
ඒ වගේමයි සහජ දක්ෂතා. ඒවත් වෙනස් වෙන්නේ නෑ. කෙනෙක් තාක්ෂණික පැත්තට දක්‍ෂතා ඇතුව ඉපදුනොත් ඔහුට සදාකාලිකවම කරන්න වෙන්නේ එච්චර තමයි. කොයිතරම් වෙහෙසකරද කියලා හිතලා බලන්න. ඒ විතරක් නෙවෙයි, මොනවා හරි හිත් රිදීමක් ඇති උනොත් ඒක සදාකාලිකවම හිතට වදයක්. මැරෙන මිනිස්සුන්ට වගේ නැවුම් මනසකින් ජිවිතේ අලුතින් පටන් ගැනීමක් නැහැ. කිසිම දුකක් නැතුව දිගටම සතුටින් හිටියොත් අවුලක් නෑ නේද කියලා ඔයාලට හිතේවි. ඒත් එහෙම වෙන්නේ නෑ. මොකද "සතුට" කියන්නෙත් සාපේක්‍ෂ දෙයක් නිසා. අපිට සතුට අර්ථදක්වන්න සිද්ධ වෙන්නේ "දුක" දිහා බලලා ඊට සාපේක්ෂව. දුකක් නැති තැන සතුටකුත් නැහැ. තියෙන්නේ ඇල්මැරුණු ගතියක් විතරයි. හැමදාටම ඇල්මැරුණු ජීවිතයක් ගතකරන්න කවුද කැමති?
ඉතින් මමනම් හිතන්නේ දුක, කඳුළු, හිත් රිදීම් වගේම මරණය කියන්නෙත් මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් එතන "ජීවිතයක්" කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ ජෙසී ගේ පියා වීනිට කියපු දේවල්වලින් ටිකක්..
"Look around you...It's teeming life...
Flowers and trees and frogs...It's all part of the wheel...
always changing...always growing...like you Winnie...Your life is never the same...
One day, you'll grow up...You'll have children and then one day, you'll go out...
just like the flame of a candle...That's the natural way of things...
And then, there's us...What we have, you can't call it living...
We just "are"....like rocks stuck at the side of a stream...
Death is part of the wheel...the same as being born...
You can't have living without dying..."
"ජීවයෙන් පිරුණු වටපිටාව දිහා බලන්න...මල්, ගහකොළ, සතුන්, මේ හැම දෙයක්ම රෝදයක කොටස් වගේ...නිරතුරුව වෙනස් වෙමින් වැඩෙනවා...හරියට ඔබ වගේ...
කවදාහරි දවසක ඔබත් ඉටිපන්දම් දැල්ලක් වගේ ලෝකයෙන් සමු ගනීවි...අලුත් ජිවිතයක් සොයා ගනීවි...
ඒත් අපි? මේකට ජිවත් වෙනවා කියලා කියන්න බැහැ....
අපි හරියට දිය පාරක අයිනේ හිර වෙලා තියන ගලක් වගේ. ...
ඉපදීම වගේම මරණයත් මේ චක්‍රයේ කොටසක්...මරණය නැති තැන ජිවත් වීමකුත් නැහැ...."
ඉතින් අන්තිමට විනී මොන වගේ තීරණයක් ගනීවිද කියලා හිතන්න පුලුවන්ද? ඒක චිත්‍රපටිය බලලම දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා :)
ඉතින් ඔයාලා තව දුරටත් කැමතිද අමරණීය වෙන්න?
දුක, සතුට, දිනුම, පැරදුම, ආදරය මේ හැම දේම විඳින්න තරම් මනුසතුන් වාසනාවන්තයි. ඒ හැම දේකින්ම පිරුණ ජීවිතය උපරිමයෙන් විඳින්න. ජිවිතයට එක තැන රැඳෙන්න ඉඩ දෙන්න එපා.
ගඟ අසබඩ ගලක් නොවී පාවෙන වන මලක් වෙන්න.
"Don't be afraid of death...but the unlived life"
ප. ලි.
ලහිරු ගේ ආයුෂ ගැන පෝස්ට් එක දැකලා තමයි මට මේක මතක් උනේ.
වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Saturday, October 13, 2012
Wednesday, October 3, 2012
නුවණැති දප්පුල - රාජාවලිය XXII
අපි පහුගිය රාජාවලිය ලිපිය නැවැත්තුවේ තුන්වන අග්බෝ රජතුමා රජ වුනු තැනින්. එතකොට අපි කිව්වනේ මේ රජතුමාට "දාඨසිව" ඇමතියාගෙන් කරදර ආවා කියලා (දාඨසිව කියන්නේ තුන්වන අග්බෝ ගෙ අතින් මියගිය ජෙට්ඨතිස්ස රජතුමාගේ, ඇමතියෙක්). අද එතන ඉඳං පටන් ගමු.
ඊට කලින් කියන්න ඕන තවත් දෙයක් තියනවා. තුන්වන අග්බෝ රජතුමා ගේ යුව රජ වෙලා ඉඳපු "මාන" කුමාරයා කරපු අපරාධයක් හෙළි වීම නිසා ඇමතිවරු එකතු වෙලා ඔහුව ජිවිතක්ෂයට පත් කළා ලු. ඉන් පස්සේ යුවරජ තනතුරට පත් වුනේ රජතුමාගේ සොහොයුරු "කාශ්‍යප". හමුදාව බාරව ඉඳපු මාන කුමාරයාගේ මරණය නිසා රජතුමාගේ යුධ ශක්තිය ඉතාමත් පහල අඩියකට වැටුනලු. මේ අවස්ථාව බලලා දාඨසිව ඉන්දියාවෙන් සේනාවක් අරගෙන ඇවිත් අග්බෝ රජතුමා එක්ක සටන් වදිනවා. ඒ සටනෙන් පරාජය වෙන තුන්වන අග්බෝ රජතුමාට ඉන්දියාවට පලා යද්දී දාඨසිව ඇමතියා "දාඨෝපතිස්ස" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 640 - 652). ඒත් දාඨෝපතිස්ස රජතුමාටත් වැඩි කල් රජකම් කරන්න නොලැබෙන්නේ නැවතත් අග්බෝ රජු ඉන්දියාවෙන් පැමිණ ඔහුගෙන් රජකම උදුරා ගන්නා නිසා. ඉන් පස්සේ දාඨෝපතිස්සත් නිකන් හිටියා කියලා හිතුවොත් ඒක වැරදියි. ඔහුත් කරන්නේ නැවතත් ඉන්දියාවෙන් සේනාවක් ගෙනත් අග්බෝ රජතුමාගෙන් රාජ්‍ය පැහැර ගන්න එක. මේ විදියට දෙන්නාගෙන් එක්කෙනෙක් දුබල වන තෙක්ම මේ මරා ගැනිල්ල සිද්ධ වෙනවා. අන්තිමේදී මේ සටන් හින්දා තුන්වන අග්බෝ රජතුමාට සිද්ධ උනාලු රුහුණට පලා යන්න. ඔහු රුහුනේදී අසනීප වී ජීවිතක්‍ෂයට පත් උනත් ඔහුගේ යුව රජ වන කාශ්‍යප කුමාරයා නැවතත් දාඨෝපතිස්ස ට විරුද්ධව සටන් අරඹනවා. අවසානයේදී සටනින් ජයග්‍රහණය කර රජකම ලබාගත් ඔහු "කාශ්‍යප II" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 652 - 661).
ඒ සටනෙන් පැරදිලා කලින් වතාවල වගේම ඉන්දියාවට පලා ගිය දාඨෝපතිස්ස ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න කාශ්‍යප රජතුමා වග බලාගතිපු නිසාම ඔහුගෙන් පසු කාලෙක එල්ල වුනු සතුරු ප්‍රහාරය වලකලා ඔහුව මරණයට පත් කරන්න කාශ්‍යප රජතුමාට හැකි වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි සෑහෙන කාලයක් තිස්සේ පැවතුනු ලක්දිව කලබල අවසන් වෙලා අපේ ඉතිහාසයට හුස්මක් කටක් ගන්න පුංචි විරාමයක් ලැබෙන්නේ. මේ සටනේදී දාඨෝපතිස්ස මරණයට පත් උනත් ඔහුගේ සහයට සටන් කරපු ඔහුගේ බෑනා වන "හත්තෝධාථ" පණ බේරාගෙන ඉන්දියාවට පලා යනවා.
ඉතින් දෙවන කාශ්‍යප රජතුමා ට පැවරෙන ලොකුම කාර්ය භාරය තමයි ඒ වනවිට පිරිහිලා තිබුණු වාරි කර්මාන්තය, කෘෂි කර්මාන්තය, සාසනික කටයුතු වගේම සමාජයත් ගොඩ ගැනීම. ඉන්දියාවෙන් විටින් විට ආපු ද්‍රවිඩ සේනා වල නොමනා හැසිරීම මැඩ පවත්වන්නත් ඔහුට සිද්ධ උනාලු. ඉතින් මේ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්නත් ඔහුට පුළුවන් උනාලු. ඒත් මෙහෙම හොඳින් රජකම කරගෙන ඉඳිද්දී මේ රජතුමා අසනීප වෙන්නේ ඉතාමත් අවාසනාවන්ත විදිහට. කිසිම වෙදකමකින් පලක් නොවුණු තැන රජතුමා හිතනවා මේ ඔහුගේ අවසානය බව. රජකම පැවරීමට තරම් සුදුසු වයසක ඔහුගේ දරුවන් නොසිටි නිසා ඔහුගේ බෑනා කෙනෙක් වන "මාන" කුමාරයාට රජකම දෙන්න තීරණය කරනවා. රජතුමා මියගියාට පස්සේ මේ මාන කුමාරයා රුහුණේ ඉඳලා රජරට ට එනවා.
ඒත්, රාජ්‍ය පාලනය මාන කුමාරයා හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ වෙද්දී ඉන්දියාවෙන් වරින් වර අරගෙන ආපු දමිළ සේනා ලංකාවේම පැලපදියම් වෙලා තිබුණා. ඔවුන්ට වෙනම ගම්මාන පවා පිරිනමලා තිබුණා වගේම උසස් තනතුරුත් ප්‍රදානය කරලා තිබුනලු. මේ නිසා සැළකිය යුතු මට්ටමේ බලයක් තිබුණු ඔවුන් මාන කුමාරයාගේ පාලනයට විරුද්ධ උනා ලු. ඉතින් මාන කුමාරයා මොකද කළේ, දෙමළුන්ව අගනුවරින් එළවලා දාපු එක. මේ ගැන කිපුණු දෙමළ ජනතාව කුමන්ත්‍රණයක් දියත් කළාලු මාන කුමාරයා බලයෙන් පහ කරන්න. ඔවුන් මේක කරන්නේ මාන කුමාරයා නුවරින් බැහැර ගිය වෙලාවක් බලලා. ඒ වෙද්දී ඉන්දියාවේ රැකවරණය ලබමින් ඉඳපු දාඨෝපතිස්ස ගේ බෑනා වන හත්තෝධාථ ට පණිවිඩ යැව්වලු ඉක්මනින් ලංකාවට ඇවිත් රාජ්‍ය ලබා ගන්න කියලා. ඒත් මේ ගැන දැන ගතිපු මාන වහාම ඔහුගේ පියා වන "දප්පුල" ගේ සහාය පතනවා.
දප්පුල ටිකක් නුවණක්කාරයි. දෙමළුන් සමග සටනට නොගිහින් ලේසියෙන් ඔවුන් අවනත කරගන්න උපායක් ඔහු කල්පනා කරනවා. ඒ සඳහා ඔහු සේවකයින් කිහිප දෙනෙක් තෝරා ගෙන දෙමළුන් අතරට යවනවා, කටකතා පතුරවලා ඔවුන් අතර ගැටුම් ඇති කරවන අදහසින්. ඉතින් ඒ අභිප්‍රාය හරියටම ඉෂ්ට වෙනවා විතරක් නෙමෙයි, ද්‍රවිඩයින් මාන කුමරුට පකෂ්පාතිත් වෙනවා. මේ විදියට උපායෙන් ඒ ප්‍රශ්නය විසඳ ගත්තට පස්සේ මාන කුමාරයා තමන්ගේ පියා වන දප්පුලට රජකම බාර දෙනවා. දප්පුල රජතුමා (ක්‍රි. ව. 661 - 664) ගැන කියනවනම් ඔහු එවකට රුහුණේ පාලකයා වූ "තිස්ස" ගේ පුත්‍රයෙක්. ඔහු අයත් වෙන්නේ ඔක්කාක වංශයට.
මේ විදියට දප්පුල රජතුමා රජකම් කරන අතරේ අර හත්තෝධාථ ඉන්දියාවෙන් ද්‍රවිඩ සේනාවකුත් අරගෙන එනවා, රාජ්‍ය අල්ලාගන්න අදහසින්. මෙතැනදී ලොකුම අවාසියට හිටින්නේ ලංකාවේ ඉඳපු ද්‍රවිඩයිනුත් ඔවුන්ට එකතු වෙන එක. මේ නිසා ජය ගැනීම අපහසු බව දුටු දප්පුල රජතුමා රුහුණට පළා ගොස් ස්වාධීනව පාලන කටයුතු කරන අතර මාන කුමරු දිගා මඩුලු ප්‍රදේශයේ ස්වාධීන පාලනයක් ඇති කරනවා. හත්තෝධාථ, "දෙවන දාඨෝපතිස්ස" නමින් අනුරපුරයේ රජ වෙනවා (ක්‍රි.ව. 664 - 673). ඔහු රජකම ලබා ගත්තේ ද්‍රවිඩයින් ගේ සහයෙන් නිසා ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට අනුව රජකම් කරන්න සිද්ධ වුන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මේ අස්ථාවර අවස්ථාව දැකපු මාන කුමාරයා සේනාවක් රැස් කරගෙන දෙවන දාඨෝපතිස්ස සමග සටනට යනවා. එහෙත් ඒ සටනින් මාන කුමරුට මැරුම් කන්න සිද්ධ වෙන නිසා ඒ සොවින්ම දප්පුල රජුත් මිය යනවා.
ඉතින් ඔන්න ඔහොමයි දප්පුල, මාන පිය පුතු දෙපළගේ අවසානය සිද්ධ වෙන්නේ. ලක්දිව ඉතිහාසයේ මී ළඟ කාල පරිච්ඡේදය මොන වගේ එකක් වේවිද කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු.
Friday, September 28, 2012
එරන්දතියදෝ මෙදිගැස
අනෝතප්ත විල අභියස - සුවඳ කොකුම් තවරා ඇස
උනා නීල පුන් මුහුලස - වලා රොදක් මෙනි වරලස
පෙලා මත් බිඟුන්, මදහස - සලා කැලුම් දෙන මියුලැස
සරා සඳ සෙ පායන යස - එරන්දතිය දෝ මෙදිගැස ?
ප. ලි.අද ඉඳන් "කවියට කවියක්" යටතේ අලුත් වැඩක්. බලමු හරි යාවිද කියලා. මේ කවියට කවියකින්ම පිළිතුරු දෙන්න කැමති කවුද?බ්ලොග් අවකාශේ ඉන්න බහුතරයක් කවි ලියන අය නේ. නැති උනත් කමක් නෑ කතාවක් වගේ කවියක් හරි ලියන්නකෝ. පිළිතුරු කවි වලට නැවතත් පිළිතුරු දීමේ ඉඩකඩ ඇත. කවියෙන් බැන ගැනීමට අවශ්‍යනම් එයටත් ඉඩකඩ ඇත :)
එහෙනම් පටන් ගමුද?
ප. ප. ලි.
කවි පද 4 ක් ම අවශ්‍ය නැත. එකක් දෙකක් උනත් කම් නැත.
කවි ලියන අයට මල බැගින් තෑගි ලැබෙනු ඇත :)
Tuesday, September 18, 2012
සහෘද නුඹ වෙත ආදරයෙන් ලියමි...
හ්ම්ම්...පහන්යාය ට අවුරුද්දයි. අවුරුද්දේ උපන්දිනේට තමන්ට උදව් කරපු අය වගේම ලඟින් ඉඳන් දිරි දෙන අයව මතක් කරලා ස්තුති කතාවක් කරන එක බ්ලොග් ලෝකයේ සම්ප්‍රදායයක් වෙලා. ඒ වගේ ලස්සන සම්ප්‍රදායවල් අකුරටම පිළිපදින්න මමත් කැමතියි :).
මම බ්ලොග් ලියන්න ගත්තේ ලඟදි උනාට ඉස්සර ඉඳලම සිංහල බ්ලොග් කියවලා තියනවා. පුරුද්දක් විදියට නෙමෙයි. ඉඳලා හිටලා. දුමී ගේ කට කහන කතා, හිස් අහස, අතීතයෙන් අහුලන මතකයන් සහ බට්ටි ඒවායින් සමහරක්.
ඉතින් ඒවා කියවද්දී මගේම බ්ලොග් එකක් හදන්න ආසාවක් ආවත් ඒක ටිකෙන් ටික පහු උනා. අන්තිමට කොහොම හරි කල් යල් බලන එක නවත්තලා එකක් හදලා දැම්මා. මුලින්ම සයුරු (එයාට මේ නම දැම්මේ "එල කොල්ලා") එක්ක එකතු වෙලා නමක් හිතලා, හරිම සිම්පල් ටෙම්ප්ලේට් එකක් දාලා මුල්ම පොස්ටුව හැටියට "පහනින් පහන් සිය ගනනක්" කියලා කවි ටිකක් දැම්මා. මේ ඔක්කොටම පැය 2 ක් යන්න ඇති.
ඉතින් ඒක දාලා හැරෙන්න උනේ නෑ කමෙන්ටුවකුත් ඇවිත්. ඒකත් කවියක්. ඔන්න ඉතින් මට මුල්ම කමෙන්ටුව ලැබුනේ බට්ටියා ගෙන් :) ඊ ලඟට පහන්යාය පැත්තේ ආවේ මධුරංග මලයා. මෙයා තමයි මුල්ම ෆලෝවර් උනෙත්. මූණු පොතේ බ්ලොග් ගෘප් එක ගැන, සින්ඩි ගැන එහෙම කියා දීලා පහන්යාය ප්‍රමෝට් කරන්න සෑහෙන උදව්වක් දීපු කෙනෙක් තමයි අපේ මධු මල්ලි.
ඉන් පස්සේ ඉතින් පහන්යාය දිගටම දල්වාගෙන යද්දී ගොඩක් හොඳ යාළුවො තොගයක්ම හම්බ උනා. ඒ අය අතරේ සෙන්නා, දයානන්ද රත්නායක, චතුරංග, ගැමියා, මන්ඩි පාල, සුමිත් නිරිඇල්ල හැමදාම වගේ ඇවිත් හරබර කමෙන්ට් වලින් සංග්‍රහ කරලා ගියා. සමහර වෙලාවල් තිබුණා මම ලිපියක් ලියලා මේ අයගේ කමෙන්ට්ස් වැටෙනකන් බලාගෙන ඉඳපු.
ඒත් එක්කම හැමදාමත් වගේ පහන්යාය ට එලිය දෙන දිනේෂ් මල්ලි (ඉස්සර මෙයා හරිම උනන්දු ළමයෙක් :), අසරණයා, ඔබ නොදුටු ලොවක්, ලහිරු, හරී, අපි වගේ මල්ලි, අනූ, හිතුවක්කාරී,රෝස කුමාරි, රූ, අයිස් නගා, බින්දි අක්කා, පොඩ්ඩි...මේ අයව කොහොම අමතක කරන්නද?
ඒ විතරක් නෙවෙයි පස්සේ කාලෙකදි හමු වුනු මී ගොඩයා, තොටියා අයියා, හිරු තරු ඇතුළු ඔක්කොම ආකාස වස්තු, තරියා, වී අයියා, ඇපලා, සිඳු සහ ලිහිණි ලාත් මතක් කරන්න ඕන. ඇයි එතකොට හැමදාම අන්තිම වෙන "එල කොල්ලා" ත් ඉන්නවා. අලුත් යාළුවො ගොඩක් ඉන්න නිසා මෙතන ගොඩක් නම් මග ඇරිලා ඇති. තරහ වෙන්න එපා හොඳේ. ඒ හැම කෙනෙක්ම මට එක වගේ වටිනවා.
අවුරුද්දක් අවසානේ මගේ බ්ලොග් එක දිහා ආපහු හැරිලා බැලුවම ඇත්තටම සතුටක් දැනෙනවා. කවි, ඉතිහාසය, විද්‍යාව, පුංචි රස කතා, අතීත මතක මේ හැම දේකම අච්චාරුවක් තමයි මගේ බ්ලොග් එක. ඉතිහාස පාඩමේදී නිදාගන්න කට්ටිය පුංචි කතා අහන්න ඇහැරිලා ඉන්නවා. කවියක් දකින්නත් අකමැති කට්ටිය විද්‍යාව පාඩමට උදෙන්ම එනවා :) නානත්ත කායා නානත්ත සංඥා කිව්වලු (හෝව්..බය වෙන්න ඕන නෑ...බුද්ධාගම පාඩම් උගන්නන්න මගේ කිසිම අදහසක් නැහැ :). එක එක්කෙනා එක එක විදිහයි. විවිධත්වය කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒ විවිධ රුචිකත්වයන්ට හරියන විදිහට ලිපි ලියන්න මම ඉදිරියටත් උත්සාහ කරනවා.
මට මේ ලිපිය මීට වඩා කලින් ලියන්න ඕන වෙලා තිබුනේ. ඉතින් මම හිතාගෙන හිටියා හිට්ස් 10000 දී මේක ලියනවා කියලා. ඒත් මගේ බ්ලොග් එකට හිට්ස් 10000 සම්පූර්ණ වුනේ ආදරණීය ඔබා මාමා අපෙන් වෙන් වෙලා, ඒ වෙනුවෙන් දාපු ලිපියෙදි. අපි හැමෝගෙම බ්ලොග් වලට කිසිම ආඩම්බර කමක් නැතුව ඇවිත් හැමෝම හිනස්සලා ගියපු ආදරණීය ඔබා මාමටත් හදවතින්ම ස්තුතියි.
සමාන හදවතක් ඇත්තා සහෘදයා ය. සහෘදයෙක් ලැබීමට තවත් සහෘදයෙක් නිසැකවම පින් කර තිබිය යුතුය. මන්ද යත් යමෙකුට සහෘදයෙක් තරම් වටිනා තවත් කිසිවක් නොමැති බැවිනි. ඉතින් ඔබ වැනි සහෘද පිරිසක් ලැබීමට මා කළ පින් මේ යැයි කීමට මම ද නොදනිමි.
FRIENDS ARE SIBLINGS THAT GOD FORGOT TO GIVE YOU
Wednesday, September 12, 2012
මා දුටු තර්ජිනී
දවසක් මාත් මගේ කැම්පස් මිතුරියකුත් ගල්කිස්ස පැත්තේ පුංචි පහේ සාප්පු සවාරියක් ගියේ සති අන්තය ප්‍රයෝජනවත්ව ගත කරන්න ඕන හින්දයි :) ඉතින් එක්තරා ප්‍රසිද්ධ රෙදි පිළි සාප්පුවක රෙදි තෝරමින් ඉන්න අතරේ මිතුරිය මෙහෙම කියනවා ඇහුනා.
"අම්මෝ...අර බලන්න අරයගෙ උස..."
මටත් ඉබේටම ඒ පැත්ත බැලුනා. කතාව ඇත්ත තමයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා අඩි දෙකක් විතර උස ගැහැණු කෙනෙක් ඇඳුම් තෝරමින් හිටියා. ඒ තරම් උස කෙනෙක් මම ඒ දැක්කේ මුල් වතාවට. වැඩිය ඒ පැත්ත බලන එක හොඳ දෙයක් නෙමෙයි නිසා ආපහු බලන්න ගියේ නැහැ. ඒ සිද්ධිය එහෙමම අමතක වෙලා ගියා.
තවත් දවසක්...
ඒ 2007 අවුරුද්ද වෙන්න ඕන. අපි කටුබැද්දේ ඉඳලා කොළඹ ට්‍රේනින් ගියපු කාලය. ඔෆිස් ඇරිලා එන වෙලාවට බස් වල තියෙන්නේ පුදුම තදයක්. බම්බලපිටියේ ඉඳලා කටුබැද්දට එනකන් තියන ට්‍රැෆික් එකත් එහෙම තමයි. එහෙම ඔෆිස් ඇරිලා එන වෙලාවක අපි හිටපු බස් එකට නැග්ගා උසම උස ගෑනු කෙනෙක්. මට එතකොටම මතක් උනා මේ අර එදා ඇඳුම් කඩේදී දැක්ක කෙනාමයි කියලා. එදා ඇය ඇඳගෙන හිටියේ ක්‍රීඩා ඇඳුමක් වගේ එකක්. එයා බස් එක ඇතුලේ හිටගෙන හිටියේ හරිම අපහසුවෙන්. ඇයගේ උසට බස් එක නොගැලපුන නිසා. පුළුවන් තරම් කොන්ද නමාගෙන අපහසුවෙන් සෙනග ගොඩේ මිරිකිලා හිටපු ඇය ගාවට ගියපු කොන්දොස්තර, බස් එකේ ඇතුලට යන්න කියලා ඇයට උපදෙස් දෙනවා ඇහුනා.
ඒ සද්දේ අස්සෙන් "I can't speak Sinhala" (ඒ මට ඇහුන හැටි) කියලා ඇය කියනවා ඇහුනා. කොන්දොස්තර ඇයට නොතේරෙන සිංහලෙන් කියවමින් බස් එකේ "space management" කරද්දී ඇය, කොන්දොස්තරට නොතේරෙන ඉංග්‍රීසියෙන් (ඒ මට හිතුන හැටි) යමක් පැහැදිළි කරන්න උත්සාහ කරා. මේ නිසා එතන ඇති උනේ පුංචි කලබැගෑනියක්. ඒ අතරේ මගීන් ගොඩක් දෙනෙක් "උස කෙල්ල" දිහා තුෂ්නීම්භූත වෙලා වගේ බලාගෙන හිටියා. අන්තිමේදී ඇය කරේ ඊ ළඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම බැහැලා ගියපු එක. ඊට පස්සෙත් කොන්දොස්තර අයියා වටේ පිටේ ඉඳපු කොල්ලෝ ටිකක් එක්ක "ඇගේ උස" ගැන උපහාසයෙන් කතා කළා. ඒ වෙලාවෙත් මට හිතුනේ අසාමාන්‍ය උස නිසා ඇය කොයි තරම් අපහසුවට පත් වෙනවාද, කොයි තරම් මිනිස්සුන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වෙනවාද කියන එක. ඉතින් ඒ සිද්ධියත් ටික දවසකින් අමතක වෙලා ගියා.
ඊට අවුරුදු දෙක තුනකට පස්සේ තමයි මට පත්තරේක ලිපියක් කියවන්න හම්බ උනේ ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ගැන. ඇය "තර්ජිනී සිවලිංගම්". යාපනයේ ඉපිද ක්‍රීඩා පුහුණුවීම් නිසා කොළඹ ආ කෙනෙක්. ඒකෙ තිබුන පින්තූරේ දකිද්දී මේ අර මම බස් එකේදී දැකපු කෙනා නේද කියලා අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
"එහෙනම් ඇය ලංකාවට දිනුම් පිට දිනුම් ගෙනෙන නෙට් බෝල් ක්‍රීඩිකාවක්". අද ඇය නිසා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ආසියාවේ අංක එකේ ස්ථානය ලබාගන්න සමත් වෙලා. ඇගේ "ගෝල ගැනීමේ නිරවද්‍යතාවය" 100% ක්. 2009 ආසියානු දැල් පන්දු අවසන් තරඟයේ ගෝල 77 න් 74 ක් ම ලබාගෙන තිබුනේ ඇය යි.
ඒ වෙලාවේදී මට දැනුනේ සතුටක්ද සැහැල්ලුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ දෙකේම මික්ස් එකක්දත් මන්දා. කොහොමහරි මට හිතුනේ එකම එක දෙයයි. ලෝකයාට ප්‍රශ්නයක් වුන, ඔවුන් විසින් උපහාසයට ලක් කළ, ඇයව අපහසුතාවයට පත් කළ "ඇගේ උස" ම ලෝකයා ගෙන් පිදුම් ලබන තත්ත්වයකට ඇයව ගේන්නට හේතු වෙලා තියන හැටි...කොයි තරම් අපූරුද?
ඒ උස නිසා ඇයට කොල්ලන් විහිලු කළ හැටිත් පාසලේදී, පාරේදී අපහසුතාවයටත් උපහාසයටත් ලක් වූ හැටිත් ඇය ලිපියේ කියලා තිබුණා. මමත් එවැනි සිද්ධියක් ඇස් දෙකෙන්ම දැක තිබුන නිසා ඇය ඒ නිසා විඳින්නට ඇති මානසික පීඩාව කොයි තරම්ද කියලා හිතාගන්න පුළුවන් උනා. ඒත් "තර්ජිනී" අද ලංකාවටම ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි, ලෝකයාගේ උපහාසයට ලක් වෙමින්, ඒ උපහාසයට හේතු වූ කරුණම තමන්ගේත් රටේත් යහපත උදෙසා යොදා ගැනීමට කටයුතු කළ ඇය, මනුෂ්‍ය සංහතියටම ආදර්ශයක් නොවේද?
Tuesday, September 4, 2012
කෑම්පින් ගිය කට්ටිය
ඔන්න අද පොඩි වෙනසකටත් එක්ක ගණනක් හදන්න දෙන්න හිතුනා කට්ටියට. මේක ටිකක් විතර අර අයි කිවු කියන ජාතියේ ප්‍රස්නයක්. බලමුකෝ...
ඔන්න එක දවසක් යාළුවො කට්ටියක් ගියාලු කෑම්පින්. දන්නවනේ කෑම්පින් යන හැටි? කෑම උයාගන්න බඩු මුට්ටු, ටෙන්ට්, ගිනි පෙට්ටි, කඹ එහෙම අරගෙනනේ යන්නේ. ඉතින් මේ ගොල්ලෝ කළුවර වැටෙද්දී ටෙන්ට් එක ගහන්න හොඳ තැනක් බලලා එතන නැවතුනාලු. ගිනි මැලයක් එහෙමත් පත්තු කරගෙන, කාලා බීලා සිංදුවකුත් කියාගෙන ඉන්නකොට එක්කෙනෙක්ට මතක් උනාලු එයාට කෑමෙන් පසු බෙහෙත් පෙති දෙකක් බොන්න තියනවා කියලා.
වැඩේ තියෙන්නේ පලවෙනි පෙත්ත බීලා හරියටම විනාඩි 15 කට පස්සෙලු දෙවැනි පෙත්ත බොන්න තියෙන්නේ (දැන් ඉතින් මගෙන් අහන්න එපා ලෙඩේ මොකක්ද කියලා). මේගොල්ලෝ කොච්චර අල්පේච්ච ද කියනවනම් එකෙක් ගාවවත් ඔරලෝසුවක් නැහැලු වෙලාව බලාගන්න. බාහිර සම්බන්ධතා අත අරින්න ඕන නිසා ෆෝන් එහෙමත් ගෙදර තියලලු ඇවිත් තියෙන්නේ :).
කෑම බීම, ඇඳුම් ඇරෙන්න සන්තකේට තියෙන්නේ මෙච්චරයිලු.
කඹ දෙකක් - මේ කඹ දෙක හැම අතින්ම සමානයි. එක කඹයක් ගිනි තිව්වොත් ඒක පිච්චිලා ඉවර වෙන්න හරියටම පැයක් යනවලු. ඒක දැනගත්ත හැටි අහන්නත් එපා. කොහොමහරි එයාලා ඒක දන්නවලු. හැබැයි මේ කඹ දෙකේ ඝනත්වය, දිගත් එක්ක ඒකාකාරී නැතිලු. ඒ කියන්නේ මුළු කඹේ පිච්චෙන්න පැයක් ගියාට අපිට හිතන්න බැහැ ඒකෙන් බාගයක් පිච්චෙන්න යන්නේ පැය බාගයයි කියලා.
දැන් මොකෝ කරන්නේ කියලා කට්ටියම දහ අතේ කල්පනා කරනවලු. ඒ අස්සේ එකෙක්ට එක පාරට නියම අයිඩියා එකක් ආවලු අර කඹ දෙක පාවිච්චි කරලා හරියටම විනාඩි 15 ක් මැනගන්න හැටි.
ඔයාලට හිතන්න පුලුවන්ද ඒ කොහොමද කියලා. දන්නවනම් කමෙන්ට් එකකින් කියලා යන්න.
ප. ලි. මේක මට චැලේන්ජ් එකක් විදිහට හම්බු උනේ මේ ලඟදි. මම එය සාර්ථකව විසඳූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමි. හිහි.
ගැටළුවට අයිති ඔය කඹ දෙකේ කෑල්ල විතරයි. ඉතුරු ටික ගොතන ලදී.

Wednesday, August 29, 2012
ලක්දිව කලබල - රාජාවලිය XXI
එහෙනම් අදත් පටන්ගමු එදා නතර කළ තැනින් :)
ඉතින් දෙවන මුගලන් රජතුමාගෙන් පස්සේ රජ කම ලැබුනේ ඔහුගේ පුත්‍රයා වෙච්ච කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි. ව. 560 - 561) ට. මේ කාලයේදී මහානාග කියලා යුධ ඇමතියෙක් රුහුණේ ස්වාධීන පාලනයක් ගෙන යමින් හිටියා ලු. කීර්ති ශ්‍රී රජු රජවෙලා අවුරුද්දකට පස්සේ මේ මහානාග, රාජ්‍ය බලෙන් අල්ලාගෙන අවුරුදු තුනක් රජකම කරගෙන යනවා (ක්‍රි. ව. 561 - 564). ඔහු මෞර්ය වංශයේ කෙනෙක් නිසා නැවතත් රජකම මෞර්ය වංශිකයින් අතට යන්නේ එහෙමයි. ඔහු ඒ වන විටත් මහළු වියේ පසු වුනු කෙනෙක් හින්දා ඉක්මනින්ම මහානාග මරණයට පත්වෙනවා. ඉන්පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ බෑනා වන පළමු අග්බෝ ට (ක්‍රි. ව. 564 - 598). ඔහු ඉතාමත් සාමකාමීව පාලනය ගෙන ගියපු කෙනෙක්. ඒ කාලයේ හිටියලු "සක්දාමල, අසක්දාමල, දැමී, බෑබිරී, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප් කොටඈපා" යනුවෙන් මහා කවීන් දොළොස් දෙනෙක්. ඔවුන් විසින් ලියපු පොත් පත් විශාල ප්‍රමාණයක් පසු කාලෙකදී දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් අතින් විනාශ උනාලු.
පළමු අග්බෝ ගෙන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ සොහොයුරියගේ පුතා (බෑනා) වන දෙවන අග්බෝ ට (ක්‍රි. පූ. 598 - 608). දෙවන අග්බෝ රජතුමාත් පළමු අග්බෝ වගේම ඉතාමත් සාමකාමිව රට පාලනය කරන ගමන් රට සශ්‍රික කරන්න කටයුතු කළා ලු. කන්තලේ වැව සහ ගිරිතලේ වැව කරෙව්වේ මෙතුමා. ඒ වගේම ථූපාරාමය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව බුදු සසුනේ උන්නතියට සෑහෙන වැඩ කොටසක් කළා ලු.
ථූපාරාමය ප්‍රතිසංස්කරණ නිමා වන තෙක් එහි නිධන් කර තිබූ බුදුන්ගේ දකුණු අකු ධාතුව ලෝවාමහාපායේ තාවකාලිකව තැන්පත් කළා ලු. දෙවන අග්බෝ රජතුමාගෙන් පස්සේ රජකම හිමි කර ගන්නේ ඔහුගේ අසිග්ගාහක පදවිය දැරූ සංඝතිස්ස විසින්. ඔහු දෙවන අග්බෝ රජුගේ මස්සිනා කෙනෙක් නිසා නීතියෙන් රජ කමට හිමි කමක් නැහැ. මේ නිසා එයට විරුද්ධ වෙන මුගලන් නම් සේනාපති, කැරළි මෙහෙයවා, සංඝතිස්ස රජවී වසරක් යන්නටත් කලින් ඔහුව රජකමින් පහ කරන්න කටයුතු කරනවා. ඉන්පස්සේ ඔහු මුගලන් III (ක්‍රි. ව. 608 - 614) නමින් රජ වෙනවා. මේ කැරැල්ලේදී සංඝතිස්ස රජුගේ සේනාධිපති, රජුට ද්‍රෝහී වෙලා මුගලන්ට සහය උනා ලු. පස්සේ කාලෙක මුගලන් රජු ඔහුට මලය රටේ පාලනය භාර දුන්නත් කවදා හරි ඔහුටත් ද්‍රෝහී වෙයි කියන බය නිසා ඔහුගේ අත් පා කපා දමන්න කටයුතු කළාලු. මේ සිද්ධිය නිසා ඔහුගේ පුත්‍රයා වන "ශිලා මේඝවර්ණ" මුගලන් රජුගෙන් පළි ගන්න සැලසුම් කරමින් හිටියා ලු. ශිලා මේඝවර්ණ තමයි මුගලන් රජුගේ අසිග්ගාහක පදවිය දරලා තියෙන්නෙත්. ඒ අතරේදී ඔහුට එකතු උනාලු සංඝතිස්ස රජුගේ පුත්‍රයා ජෙට්ඨතිස්ස ත්. දෙන්නම එකම අරමුණ තියන දෙන්නෙක් නිසා දෙන්නම එකතු වෙලා මුගලන් රජුට විරුද්ධව සටන් සැලසුම් කරනවා.
අවසන් සටන මෙහෙයවලා එයින් ජයග්‍රහනය කරන ශිලා මේඝවර්ණ, රජකම බාර දීම සඳහා ජෙට්ඨතිස්ස ට ඇරයුම් කරනවා. එකාට එකා ද්‍රෝහී වෙච්ච කාලයක් නිසා ජෙට්ඨතිස්ස මේ ආරාධනාව ගැන සැක කරලා රජ කම බාර නොගෙන සැඟවෙනවා. ඉතින් ඊ ළඟ රජතුමා හැටියට ඔටුනු පැළඳුවේ මේ ශිලා මේඝවර්ණ රජතුමා (ක්‍රි. ව. 614 - 623). ඔහුගෙන් පසුව රජකම හිමි වුනේ ඔහුගේ පුත් තුන්වන අග්බෝ ට. තුන්වන අග්බෝ රජ වෙලා වසරක් යන්නත් කලින් සැඟවිලා ඉඳපු ජෙට්ඨතිස්ස, ඔහුට විරුද්ධව කැරලි අරඹනවා. අග්බෝ රජතුමා දිවි ගලවා ගැනීමට ඉන්දියාවට පලා යන නිසා ජෙට්ඨතිස්ස ජයග්‍රහණය කරනවා. ජෙට්ඨතිස්ස/දෙටුතිස් III රජතුමාට රජකම් කරන්න ලැබෙන්නේ වසරක පමණ කාලයක් පමණයි (ක්‍රි. ව. 623 - 624). ඒ, ඉන්දියාවෙන් සේනාවක් රැගෙන එන තුන්වන අග්බෝ රජතුමා ජෙට්ඨතිස්ස රජතුමාට විරද්ධව සටන් අරඹන නිසා. ජෙට්ඨතිස්ස රජතුමා යුද්ධය අතරතුරේම සිය දිවි නසා ගත්තා කියලා තමයි කියන්නේ.
ඉතින් ඔය විදිහට තුන්වන අග්බෝ රජතුමා නැවත රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 16 ක් (ක්‍රි. ව. 624 - 640) රජකම් කරනවා. ඔය අතරේ මේ රජතුමාට තවත් සතුරු කරදරයක් ඇති වෙනවා. ඒ, කලින් ඉඳපු ජෙට්ඨතිස්ස රජතුමාගේ ඇමතියෙක් වූ දාඨසිව ගෙන්.
දාඨසිව කරපු දේවල් ගැන අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද? මේ කාලය වෙද්දී මේ වගේ කල කෝලාහල ඇරෙන්න වෙන දෙයක් තිබිලා නැහැ වගේ. දේශපාලන වශයෙන් ඉතාමත් අස්ථාවර කාලයක් තමයි මේ. මරාගැනිලි ඉවරයක් නැහැ. එහෙනම් ඉතින් මීට වඩා සතුටුදායක යමක් කමක් තියන තවත් රාජාවලිය ලිපියකින් හමු වෙමු.

Subscribe to:
Posts (Atom)